Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණ  වෛද්‍ය විද්‍යාව අනුව මළ සිරුරු ගොඩ ගැනීම පිළිබඳ ඔබ නොදත් තොරතුරු

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 08:30

අධිකරණ  වෛද්‍ය විද්‍යාව අනුව මළ සිරුරු ගොඩ ගැනීම පිළිබඳ ඔබ නොදත් තොරතුරු

අධිකරණ වෛද්‍ය විද්‍යාව යටතේ එන මේ විෂයය පිළිබඳව පසුගිය කාලයේ ඔබ හොඳින් තොරතුරු දකින්න ඇති. අද ඔබේ දැන ගැනීම සඳහා අප කථා කරන්නේ මළ සිරුරු ගොඩ ගැනීම පිළිබඳව හා ඒ තුළින් අධිකරණ වෛද්‍ය විද්‍යාත්මකව මතු කර ගත හැකි කරුණු පිළිබඳවයි.

පසුගිය කාල වකවානුව තුළ සුලභව දක්නට ලැබුණු මෙම මළ ගිය පුද්ගලයන් ගේ සිරුරු ගොඩ ගැනීම පිළිබඳව කතා කිරීමේදී මහත් ආන්දෝලනාත්මක පුවත් රැසක් පුවත්පත්වල පළ වුණා. සාමාන්‍යයෙන් අපේ ජන සමාජයේ සහ ඇතැම් සංස්කෘතිකමය පිළි ගැනීම් අනුව මරණයට පත් වූ පුද්ගලයෙකුගේ වළ දැමූ සිරුරක් නැවත ගොඩ ගැනීම සිදු නොකළ යුත්තක්. ඒ වගේ ම එය විශාල පාපයක් ලෙසත් සළකනවා. කෙසේ නමුත් ඇතැම් සුවිශේෂී අවස්ථාවලදී විශේෂයෙන් ම මතභේදාත්මක ලෙස සිදු වූ මරණයකදී ඇතැම් කරුණු පදනම් කරගෙන යම් පුදගලයෙකු ගේ මළ සිරුරක් ගොඩ ගැනීමට සිදු විය හැකියි.

පසුගිය කාල වකවානුව තුළ මේ පිළිබඳ සුවිශේෂී පුවත් දෙකක් පළ වුණා ඔබට මතක ඇති. ඒ ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග යන සුවිශේෂී පුද්ගලයන් දෙපළගේ මතභේදාත්මක මරණ පිළිබඳවයි. එහිදී තාජුඩීන් ක්‍රීඩකයා ගේ මළ සිරුර ගොඩ ගත් අතර ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර ද ඊට පසු කළෙක ගොඩ ගනු ලැබුවා.

 

 

සාමාන්‍යයෙන් මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් යළි ගොඩ ගැනීමක් සිදු කරන්නේ වැඩිදුර පරික්ෂණයක් සිදු කළ යුතු බවට ඉල්ලීමක් ඇති අවස්ථාවකදීයි. ඒ සඳහා අනිවාර්ය වශයෙන් ම ගරු අධිකරණයේ නියෝගයක් අවශ්‍යයි. නීතියේ ඇසින් බලන විට යම්කිසි පුද්ගලයෙකු මිය ගිය පසු එම පුද්ගලයාගේ මෘත දේහයේ අයිතිය රජය සතුයි. සාමාන්‍යයෙන් බලධාරීන් විසින් මෘත දේහයක් අවසන් කටයුතු සඳහා භාර දෙනු ලබන්නේ තාවකාලිකවයි.

අපේ රටේ නීතිය අනුව හදිසි මරණ පරික්ෂණ පවත්වනු ලබන අවස්ථා 2ක් තිබෙනවා.

  1. හේතුවක් සොයා ගත නොහැකි මරණයකදී.
  2. හදිසි අනතුරකින් සිදු වූ මරණයකදී.

මේ අවස්ථාවලදී එකී මරණ පරික්ෂණ පවත්වනු ලබන මරණ පරික්ෂකවරයාට මෘතදේහය යළි ගොඩ ගැනීම සඳහා නියෝගයක් ලබා දීමට නෛතික බලයක් නැහැ. පොලිසිය හෝ වෙනත් පාර්ශ්වයක කරුණු දැක්වීමක් මත එවැනි නියෝගයක් කළ හැකි වන්නේ මහේස්ත්‍රාත්වරයාට පමණයි.

මහේස්ත්‍රාත්වරයා ට මෙවැනි නියෝගයක් ලබා දිය හැකි අවස්ථා කිහිපයක් තිබෙනවා.

  1. ස්වභාවික මරණයක් ලෙස දක්වා වෛද්‍යවරයෙකු ගේ හෝ ග්‍රාම සේවකයෙකුගේ සහතිකය ලබාගෙන මරණය ලියාපදිංචි කරවා වළලන ලද මෘතදේහයක් ගැන සැකයක් මතු වන අවස්ථාව.

එවැනි අවස්ථාවකදී ඒ සම්බන්ධව එනම් මරණය සැක සහිත බවට පොලිසියට කරනු ලබන පැමිණිල්ලක් නිසා ද පොලිසියට නැවත මළසිරුර ගොඩ ගැනීමේ නියෝගයක් අධිකරණයෙන් ලබා ගත හැකියි.

 

  1. මියගිය කෙනෙකු වෙනුවෙන් හදිසි මරණ පරික්ෂණයක් ද , පශ්දාත් මරණ පරික්ෂණයක් ද, පැවැත්වූ පසු එම සිරුර භූමදානය කිරීමෙන් පසුව අධිකරණයට හෝ පොලිසියට ඉදිරිපත් වන වෙනත් කරුණු නිසා මෘතදේහය ගොඩ ගැනීමට සිදු වන අවස්ථාව.

බොහෝ වෙලාවට මෙවැනි අවස්ථා එළඹෙන විටදී පළමු මරණ පරික්ෂණය පිළිගැනීමට නොහැකි බවට කරුණු ඉදිරිපත් වීම නිසා මෘතදේහය නැවත ගොඩ ගත යුතු බවට ගරු අධිකරණය නියෝග ලබා දෙනවා.

3. සිවිල් නීතිය යටතේ ද සිවිල් කටයුතු සඳහා මළ සිරුරක් ගොඩ ගැනීමක් සිදු විය හැකියි.

උදාහරණ :-  සුනාමි ව්‍යසන සමයේ දී මිය ගිය , සාමුහික මිනී වළක යම් පුද්ගලයෙකුගේ සිරුරක් වළ දමා ඇති බවට එම පුද්ගලයාගේ ඥාතීන්  විසින් පසුව දැන ගන්නා අවස්ථාවකදී.

ඉහත අවස්ථාවලදී මළසිරුර ගොඩගෙන  හඳුනා ගැනීම සඳහා අවස්ථාව සළසා දෙනු ලබනවා.

 

ගොඩගත් මළ සිරුරක් පරික්ෂා කරන ආකාරය

 

නියමිත ක්‍රමවේදය අනුව නීත්‍යනුකූල ලෙස ගොඩ ගන්නා මළ සිරුරක් නැවත පරික්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය ඒකකයක් වෙත  රැගෙන එනු ලබනවා. දැන් ඔබට ගැටලුවක් ඇති අධිකරණ වෛද්‍ය ඒකකය ගැන. කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරි කාර්යාලය හැරුණු විට අනෙකුත් අධිරණ වෛද්‍ය කාර්යාල සියල්ලක් ම ඒ ඒ ප්‍රදේශවල රෝහල් පරිශ්‍රයන් හි පිහිටා තිබෙනවා. මෙම අධිකරණ වෛද්‍ය සේවයේ නීත්‍යනුකූල භාරකාරත්වය පවතින්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතටයි.

 

 

මෘත ශරීරයක් ගොඩ ගත් පසුව මුලින් ම සිදු කරන්නේ එම මෘත ශරීරය හඳුනා ගැනීම බව පෙර සඳහන් කළා. එම මෘත ශරීරයේ හඳුනා ගැනීම තුළ එය තීරණය වෙන්නේ මළ සිරුර කොපමණ දුරට නරක් වී තිබේද? යන කරුණ මතයි.

එය විවිධ ක්‍රම අනුව සිදු කරනු ලබනවා.

1. අස්ථි මඟින්.

2. මළ සිරුරේ ඇඳුම් පැළඳුම් මගින්.

3. සිරුර වළ දමා ඇති ක්‍රමවේදය මගින්.

4. අස්ථි හා දත්වල ලක්ෂණ මගින්.

5. පරික්ෂණ මගින්.

ඉහත ක්‍රම විස්තරාත්මකව විමසා බලමු.

බොහෝ කලකට පසුව ගොඩ ගනු ලැබූ මළ සිරුරක් නම් ,එනම් මස් දිය වී ගිය මළ සිරුරක් අස්ථි මඟින් හඳුනා ගැනීම සිදු කරනු ලබනවා. එය සිදු කිරීමට නම් අස්ථි විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයෙකුගේ සහාය අවශ්‍යයි. ඒ වගේ ම මළ සිරුරේ ඇති ඇඳුම් ආයිත්තම් ආදිය ද හඳුනා ගැනීම සඳහා උපයෝගී කර ගත හැකියි. මළ සිරුර වළ දමා ඇති ක්‍රමවේදය මඟින්ද මේ හඳුනා ගැනීම සිදු කළ හැකියි.

 

 

ඇතැම් විට සිරුර පෙට්ටියක බහා තිබිය හැක,එසේත් නැතිනම් සිරුර රෙදි මගින් ඔතා තිබිය හැකියි. එම ක්‍රමවේදය අනුව ද හඳුනා ගැනීම සනාථ කර ගත හැකියි. මිනිස් සිරුරේ නොවෙනස් වන අංගයක් වන දත් ද මෙහිලා සුවිශේෂී වෙනවා. ඒ අනුව දත් යනු ඉතා වැදගත් සාධකයක්. ඒ වගේම වඩාත් විශ්වසනීය ක්‍රමවේදයක් වන DNA පරික්ෂණ ද අවශ්‍ය අවස්ථාවල යොදා ගැනීම සිදු කරනු ලබනවා.

 

 

ඒ වගේ ම මළ සිරුරක් ගොඩගෙන පරික්ෂණ සිදු කිරීමේදී එම සිරුර වළ දමා තිබූ කාලය අතිශය වැදගත්. සිරුර පෙට්ටියක වළ දමා තිබුණත් අවුරුද්දක් පමණ ගත වන විට සිරුර දිරාපත් වී අස්ථි පමණක් ඉදිරි වෙනවා. ඔිනෑම මළ සිරුරක් ඉතා හොඳින් එම්බාම් කර තිබුණ ද එය හොඳ තත්වයෙන් පවතින්නේ මාසයක් හෝ දෙකක් වැනි කෙටි කාලයක්. මේ නිසා මළ සිරුරක් ගොඩ ගෙන පරික්ෂණ සිදු කරන විට එම පරික්ෂණ වලට ලැබෙන්නේ ස්වභාවික තත්ත්වයේ පවතින මළ සිරුරක් නොවේ.

 

 

කාලයක් තිස්සේ කල් ගත වූ මළ සිරුරක් අස්ථි පමණක් ඉතිරි වන අවස්ථාවක එම සිරුරේ හඳුනා ගැනීම් DNA පරික්ෂණයක් තුළින් සිදු කළ හැකියි. විශේෂයෙන් ම වෙඩි තැබීමක් හෝ පහර දීමක් සිදු වී මිය ගිය විට එම ප්‍රහාරය හෝ වෙඩි තැබීම සිදු වී ඇත්තේ අස්ථියකට වැදෙන ආකාරයට නම් පමණක් මේ සම්බන්ධව මුල්ම පරික්ෂණයෙන් සෑහීමට පත් නොවන අවස්ථාවක වැඩිදුර කරුණු සොයා ගත හැකියි.

 

පළමු මරණ පරික්ෂණය කොතරම් දුරට වැදගත් ද???

 

පුද්ගලයෙකුගේ මරණයක් පිළිබඳව සෑම විටම වැඩියෙන් විස්තර දැක්විය හැකි වන්නේ මළ සිරුර පිළිබඳව මුලින් ම  පරික්ෂණ සිදු කළ වෛද්‍යවරයාටයි. එයට හේතුව වන්නේ පළමු මරණ පරික්ෂණයේ දී එම වෛද්‍යවරයා දකින්නේ හොඳ ස්වභාවික තත්වයේ පවතින ඉතා නැවුම් මළ සිරුරක් වීමයි. මේ නිසා මේ පළමු මරණ පරික්ෂණය සිදු කරන වෛද්‍යවරයා සතුව අති සුවිශාල දත්ත සංඛ්‍යාවක් පවතිනවා.

 

 

සාමාන්‍යයෙන් මළ සිරුරක් ගොඩ ගනිද්දී අදාළ මරණ පරික්ෂණය කරන නිළධාරියා ට ඒ පිළිබඳව කිව හැකි වන්නේ 50% ක පමණ තොරතුරු ප්‍රමාණයක් පමණයි. විවිධ පැමිණිලි මත කෙරෙන අධිකරණ නියෝග අනුව ගොඩ ගනු ලබන්නා වූ මළ සිරුරු පිළිබඳ පරික්ෂණ පැවැත්වීම සුලභ කරුණක් වගේම එහිදී :

1. මෘදු පටක දිය වූ දේහයක අස්ථි නිරික්ෂණ.
2.අස්ථි පටක පරික්ෂණය.
3.DNA සැසඳුම් මත රෝග ඉතිහාසය නිරික්ෂණය කර නිගමන ඉදිරිපත් කිරීම.

සිදු කරනු ලබනවා.

නමුත් මෙහිදී වඩාත් සුදුසුම ක්‍රමවේදය ලෙස පිළි ගැනෙන්නේ පළමු මරණ පරික්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිළධාරියා ගෙන්වා ඔහුගෙන් පොලිසිය හෝ නීතිපති දෙපාර්තමේන්තුව  විසින් පවතින ගැටලු පිළිබඳව විමසීමයි. කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු කළ පරික්ෂණ සිදු කරන්නේ මෙම ක්‍රමය අනුගමනය නොකරමින් එනම් පළමු පරික්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍යවරයා කැඳවීමකින් තොරව බව කිව යුතුයි.

 

විදෙස් රටවල තත්වය

 

විදේශ රටවල මිනී මැරුමක් වැනි අපරාධයක් පිළිබඳව අධිකරණ වෛද්‍ය නිළධාරීන්  දෙදෙනෙක් වෙන් වෙන් වශයෙන් පරික්ෂණ කිරිම සිදු කරනු ලබනවා.එයට අමතරව පහත ක්‍රම ද භාවිත කරනු ලබනවා.

  1. එක්ස් කිරණ පරික්ෂණ ගැනිම.
  2. අන්වීක්ෂක පටක සාදා ඒවා සුරක්ෂිත කර තැබීම.
  3. විවිධ කෝණවලින් ඡායාරූප ගැනීම.
  4. ශරීර තරල ආදිය සුරක්ෂිත කර තැබීම.
  5. DNA සාම්පල ලබාගෙන ඒවා සුරක්ෂිත කර තැබීම.

 

මෙහිදී පළමු පරික්ෂණයේ දෝෂයක් පිළිබඳව පැමිණිල්ලක් සිදු කර ඇතොත් නැවත එම කරුණු විමර්ශනය කර නිගමනයකට එළඹීමට නොහැකි නම් හෝ ගැටලු ඇත්නම් පමණක් මළ සිරුර ගොඩ ගැනීම සිදු කරනු ලබනවා. ඒ අතින් බලන විට ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධව ඇති පහසුකම් අනුව ඉහත පරිදි ක්‍රමානුකූල  ක්‍රමවේදයක් පවතින්නේද?යන්න ගැටලුවක්.

 

 

කෙසේ වුවත් මිනිසකුගේ මරණයට හේතුව සොයන අධිකරණ වෛද්‍ය නිළධාරියෙකු තමා විසින් මළ සිරුරක කරන නිරික්ෂණයක් හා වෛද්‍ය පරික්ෂණ තුළින් හෙළි වන සාක්ෂි මත මරණය පිළිබඳව නිගමන ඉදිරිපත් කරනු ලබනවා.එකී නිගමන ඉදිරිපත් කරන අධිකරණ වෛද්‍ය නිළධාරියා අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමටත්,පැමිණිල්ලේ මෙන් ම විත්තියේ  ද හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමටත් බැඳී සිටිනවා.

 

– සුපුන් භාග්‍යා වීරකෝන් –

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 08:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්