Life+News The Official News Portal of Independent Television Network Ltd

පොළොන්නරුව ගිනිපෙට්ටි පාලමේ ඉදිකිරීම් ජනපති අතින් ඇරඹේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 15:52

පොළොන්නරුව ගිනිපෙට්ටි පාලමේ ඉදිකිරීම් ජනපති අතින් ඇරඹේ

පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ ඩී 1 උතුරු ඇළට අයත් ඉපැරණි ගිනිපෙට්ටි පාලම යළි ඉදිකිරීමේ කටයුතු ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ සිට කෙත් බිම් අක්කර දහස් ගණනකට දියවර රැගෙන යන ප‍්‍රධාන ඇළ මාර්ගය වන උතුරු ඇළේ ප‍්‍රධාන ජල පැන්නුම වන ගිනිපෙට්ටි පාලම, ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භයේදී ම ඉදිකරන ලද්දකි. පසුගියදා මෙම පාලම කැඩී යෑම හේතුවෙන් ප‍්‍රදේශයේ ගොවි ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වූ අතර මෙවර කන්නයේ වගා කරන ලද කුඹුරු අක්කර 15,000 කට පමණ ජලය සැපයීම ද ඇණ හිටිණි.

ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් වාරිමාර්ග නිලධාරීන් විසින් ඉතා ඉක්මනින් මෙම පාලමේ කැඩි ගිය කොටස් පිළිසකර කර අවශ්‍ය ජල සැපයීම යථා තත්ත්වයට පත් කළ අතර, පසුව එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිතුමා, එම පාලම නැවත අලුතින් ඉදිකිරීමට කඩිනම් පියවර ගන්නා බවට වූ පොරොන්දුව ඉටුකරමින් මෙලෙස නව පාලම ඉදිකිරීම ආරම්භ කෙරිණි.මේ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 250 කි.

ඉදිකිරීම් ඇරඹීම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා, එම ස්ථානය නිරීක්ෂණය කිරීමට ද එක්විය.ඉදිකිරීමට යෝජිත නව පාලමේ සැලැස්ම පිළිබඳව පොළොන්නරුව කලාප භාර වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ. සේවාගම මහතා විසින් ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.එමෙන්ම ගිනිපෙට්ටි පාලමට සමාන්තරව “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ඉදිකෙරුණු විකල්ප පාලම ද අද (07) ජනාධිපතිතුමා අතින් නිල වශයෙන් විවෘත කරනු ලැබීය.

එම අවස්ථාවට එක්ව සිටි ජනතාව සමග ජනාධිපතිතුමා සුහද කතාබහක ද නිරතවිය.රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, අමාත්‍යාංශ ලේකම් එන්.ඒ.සිසිර කුමාර, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එස්. මෝහන රාජා, දිස්ත‍්‍රික් ලේකම් පී.එස්.පී. අබේවර්ධන, නගරාධිපති සිදත් චානක රණසිංහ, උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල බණ්ඩාර ජයරත්න යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්විය.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 15:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්