ඔබ අයිත්මාතව් ගැන දන්නවා ඇති. ගුරුගීතය පොතත් ඔබ කියවා ඇති. ඒ හින්දම දුයිෂේන්ගේ ධෛර්යය ගැනත් ඔබ හොඳින් දන්නවා ඇති. සමහර විට ඔබ පෑඩ් මෑන් චිත්‍රපටය ගැන දන්නවත් ඇති නොදන්නවත් ඇති. මේ සටහන කියවලා පෑඩ් මෑන් බලලා නැති කෙනෙක් ඉන්නවා නම් හොයාගෙන බලන්නත් කියලා අපි ආරාධනා කරනවා. ගුරුගීතයේ දුයිෂෙන්ගේත්, පෑඩ්මෑන් හී ලක්ෂ්මිකාන්ත්ගෙත් අපි ඉගෙන ගන්නෙ ලෝකය වෙනස් කළ අප්‍රතිහත ධෛර්යයේ කතාන්දරයයි. ඒ කතාන්දරයේම තවත් දිගුවක් කෑගල්ලේ අපි සතුයි. පසුගිය සති දෙක තුළ ලෝකයේ ජන මනස වෙනස් කළ ෆේස්බුක් සටහන් අතර අපේ කතානායකයා ද ප්‍රමුඛය. මේ දිනවල සමාජ මාධ්‍යය තුළ ඔහු සැබෑ වීරයෙකි. ලෝකය වෙනස් කළ හැක්කේ ආදරණීය කැපකිරීමකින් බව අපට වටහා දෙන කෑගල්ලේ බුක් මෑන් ඔහුය.
ඔහු නමින් මහින්ද දසනායකය. කෑගල්ල, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමාරක්ෂක නිලධාරියා ඔහුය. දරුවන් වෙත ඇති මහින්දගේ ලැදියාව කොතෙක් වීද යත් ලෝකයේ හොඳම දේ දිය යුත්තේ දරුවන්ට බව ඔහු විශ්වාස කළේය. ආදරය තරම් හොඳ වෙනත් දෙයක් ලොව කොතැනකවත් පවතින්ට නොහැකිය. ආදරය ඇති තැන ජීවිතය පවතී. එහෙයින් මහින්ද දරුවන්ට ආදරය බෙදා දීමට අපේක්ෂා කළා විය යුතුය.
ඒ සඳහා මහින්ද මිලට ගත්නේ පැරණි සී.ඩී නයින්ටියකි. රජයේ ක්ෂේත්‍ර නිලධාරියෙක් වෙත මසකට හිමිවන ගමන් වියදම් දීමනාව වන රු.2500 මුදල මාස කිහිපයක් ඉතුරු කොට රු.23.000 කට සී.ඩී නයින්ටිය මිලට ගත් ඔහු ඉතුරු මුදලින් ඒ බයිසිකලෙයේ පෙට්ටියක් සවි කළේය.
‘‘ බිස්නස් එකක්වත් කරන්නදැයි බොහෝ දෙනා ඔහුගෙන් ඇසූහ. එහෙත් ජීවිතය විකුණන්ට බැරිය. තවත් දිනක එම පෙට්ටියේ රත් පැහැ තීන්ත ආලේප කළ ඔහු එහි සුදු පැහැ අකුරින් මෙසේ සටහන් කළේය.
‘‘ පොතයි- මමයි, ජංගම පුස්තකාලය “ .
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/40005377_2205978512807416_1854849324052119552_n.jpg”]
මහින්ද ආදරය බෙදාහරින්නට පටන් ගත්තේ එතැනිනි. ජීවිතයේ හොඳම පාඩම් කියා දිය හැක්කේ පොත් පත් ඇසුරිනි. හොඳ පොතක් යනු සැමවිටම ඉතා හොඳ ආදරයකි. කලක් තිස්සේ මහින්ද එකතු කළ හා හිතමිත්‍රාදීන්ගෙන් මේ වෙනුවෙන් ඉල්ලා ගත් පොත් පත් රැසක් සිය බයිසිකල් පෙට්ටියේ බහා මහින්ද ඉගිලෙන්නේ පොඩි දරුවන් වෙතය. ගමෙන් නගරයෙන් පිටත ලෝකයක් ඇති බවත් ඒ ලෝකය වෙත ආදරය බෙදාහැරීමෙන් ලෝකය දැනට තිබෙනවාට වඩා යහපත් තැනක් කළ හැකි බවත් පොතපත ඇසුරින් පොඩ්ඩන්ට කියාදෙන පොත් මාමා මහින්දය. සැබෑ රාජ්‍ය නිලධාරියෙකුට උදාහරණයක් දෙන්නැයි කිවහොත් ඊට හරිම පිළිතුර මහින්ද දසනයකය. ආඩම්බර විය හැක්කේ ඔහු අපේම එකෙක් වන නිසාය.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/40073977_2205978832807384_4770793069022806016_n.jpg”]
“පොතයි – මමයි” ජංගම පුස්තකාලය මේ වන විට කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වතුර ග්‍රාමනිලධාරී වසමේ ක්‍රියාත්මක කෙරේ. හෙට්ටිමුල්ලේ වඩුමුල්ල සිය උපන් ගමේ සිට වතුරට යන්නට මහින්දට මහවේලාවක් ගත වන්නේ නැත. තම වැටුපෙන් බයිසිකලයට පෙට්‍රල් ගසාගන්නා මහින්ද සතියේ දින දෙකක් සිය බයිසිකල් පෙට්ටියේ දරුවන්ට සුදුසු පොත් පත් බහා නික්ම යයි. ඔහු පොත් පත් දරුවන් අතට දී ඔවුන් වෙත ජීවිතය කියාදෙන්නේ කිසිදු ආර්ථික ප්‍රතිලාභයකින් හෝ වෙනත් කිසියම් අපේක්ෂාවකින් යුතුව නොවේ. අනතුරුව දරුවන් අත පොත් තබා ඔවුන්ට නිදහසේ කියවන්නට ඉඩ හරින මහින්ද ඊලග සතියේ ඒ පොත් එක්කාසු කරගනී. මේ ආදරණීය හෑන්දෑවරුව එළඹෙන තෙක් වතුරේ පුංචි දරුවන් සේම වැඩිහිටියන්ද නොයිවසිල්ලෙන් සිටී. වැලි පාරේ ඈතින් මතුවන මේ පොත් බයිසිකළේ ඔවුනට ජීවිතය පිළිබඳ නව අපේක්ෂාවන් දල්වා තිබේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/40057880_2205978529474081_3072852618419109888_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/40074865_2205978816140719_1700378316990578688_n.jpg”]
‘‘ හැන්දෑවරුවේ එළිමහනක පොතක් ගැන කතා කිරීම හරිම ආදරණීය අත්දැකීමක් විදිහටයි මම දකින්නෙ. මේ එන හුළඟටත් ආදරේ කරන දරුවො ටිකක් හදන්න මට ඕන….. “ ඒ මහින්දගේ හඬයි. පැය දෙකක් පමණ සොබාදහම හා වෙලෙමින් නිමවන මේ ආදරණීය අකුරු ගණුදෙනුව වඩාත් යහපත් හෙටක් උදාකිරීමට පාදමක් සපයා තිබේ. අනෙකාට තුවක්කුවෙන්, පිහියෙන් පිළිතුරු සපයන සමාජයක් වෙනුවට මානව දයාවෙන් පිරුණ මිනිසුන් පිරිසක් තැනීම මේ සත්කාර්යයේ අපේක්ෂාර්ථයයි. ඔබ මේ සටහන කියවන නිමේෂයේදීත් කියවීමට පොතක් පතක් සොයා ගත නොහැකි දරුවෝ සිය දහස් ගණනක් අප අතරම වෙසෙන බව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. අප මේ කාර්යයට පිවිසෙන්නේ ඒ නිහැඩියාව බිදීමේ ප්‍රවේශයක් ලෙසිනි.
මහින්දගේ මේ සමාජ සත්කාර්යය මුල්තනතුරේ තබා කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 වෙතම ජංගම පුස්තකාල ඇති කිරීමට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් එකතුව වී සිටී. මේ සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා ඇතළු දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් අප හා අත්වැල් බැඳසිටින බව සටහන් තබන්නෙ නිහතමානී සතුටකිනි. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය කවයේ සියළුම නිලධාරීන් මේ සත්කාර්යය වෙනුවෙන් සැදීපැහැදි සිටිති.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/40158110_2205978546140746_28738897487855616_n.jpg”]
ඔබ කෑගල්ලේ කෙනෙක් වුණත්, රටේ වෙන ඕනෑම තැනක කෙනෙක් වුණත්, ඔබ මේ ලෝකෙ කොහේ හිටියත් ඔබට පුළුවන් මේ සඳහා අපිත් එක්ක අත්වැල් බැඳගන්න. ඔබට පුළුවන් ඔබේ කැඩුණ බයිසිකලයක්, ත්‍රීවිල් එකක් අළුත්වැඩියා කරලා අපිට දෙන්න. අපිට පුළුවන් ඒ බයිසිකලය, ත්රීවිලය දැනුම් පිපාසයෙන් ඈත ගම්දනව් වල වෙසෙන අපේම පැටවුන් වෙත දැනුම බෙදා හරින්න යොදාගන්න. ඔබට පුළුවන් මේ දරු පැටවුන්ට කියවීමට සුදුසු පොත් අපට එවන්න. එහෙම නැත්නම් ඔබගේ මඩිස්සලේ දිගෑරලා පොඩි හරි මුල්‍යමය අනුග්‍රහයක් මේ කටයුතු වෙනුවෙන් දක්වන්න. අපි ඒ සියළු කටයුතු නිසි විනිවිදභාවයක් සහිතව සම්බන්ධීකරණය කරන බවටත් ඔබට සහතික වෙනවා. ඒ ගැන ප්‍රශ්න කරන්නත් ඔබට පුළුවන්.
තවත් තොරතුරු දැනගන්න ඔබට පුළුවන් මේ අංකයෙන් අපිව අමතන්න – 035 –2231727 (මේ දුරකතන අංකය කාර්යාලීය දුරකතන අංකයක් වන බැවින් උදෑසන 8.30 පසුව ඇමතිය හැකි නම් ඔබට වඩාත් පහසුවනු ඇත.)
අපගේ ඊමේල් ලිපිනය මේක – [email protected]
පොත් එවනවානම් මේ ලිපිනය භාවිතා කරන්න. –
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
කෑගල්ල.
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි. මේ යහපත් කාර්යය සාර්ථක වේවා’යි ITN Digital Media Unit අපිදු ප්‍රාර්ථනා කරන්නෙමු )