ඕස්ට්‍රේලියාවේ තිස්වන අගමැති ලෙස පත්වූ ස්කොට් මොරිසන් මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පළකර සිටිනවා. තම පක්ෂයේ දේශපාලන සහෘදයින් ස්කොට් මොරිසන් මහතා වෙත තබා ඇති විශ්වාසයෙන්ම ඔහුගේ නායකත්ව ගුණාංග මනාව පිළිබිඹු වන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවුඩයේ සදහන් කරන්නේ. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින සුහද සමීප මිත්‍රත්වය සහ සබදතාවය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පවතින්නක්. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවලට පසුගිය වසරේදී වසර 70 ක් සපිරුණා. ඒ හේතුවෙන් තමාට ඕස්ට්‍රේලියාවට යාමට ලැබීම පිළිබදව සතුටුවන බවද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් සදහන් කරනවා.
ආගමන සහ දේශසීමා ආරක්ෂණ හිටපු අමාත්‍යවරයෙකු වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති ස්කොට් මොරිසන් මහතාට දෙරටේ සබදතා පිළිබද මනා අවබෝධයක් ඇති හෙයින් එම සබදතා තවත් ශක්තිමත් කර ගැනීමට හැකිවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කරනවා. දෙරටේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ස්කොට් මොරිසන් මහතා සමග සුහදශීලීව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබපැතුම් පණිවුඩයේ සදහන්.