දිවි ගමනේ සහකාරිය හෝ සහකාරිය බොහෝ විට මුණ ගැහෙන්නේ කලින් සැලසුම් කර නොවෙයි. නොසිතන මොහොතක, නොසිතන ස්ථානයකදී, නොසිතන පරිදි ඔබට ඔහු හෝ ඇය මුණ ගැසේවි. නමුත් ජීවිතය දිගටම ගලාගෙන යද්දී, ඒ අය ජීවිතයෙන් යාවි. තවත් අය ජීවිතයට ඒවි. ඒ තමයි ජීවිතය….
මං ඔයාට දැන් හුගාක් ආදරෙයි. ඔයාට ඒක හිතා ගන්නවත් බැරිවෙයි. ඔව් මං දන්නවා. ඉස්සර මං ඔයාට ආදරේ කරේ නෑ. නැත්තෙමත් නෑ. මං කරා. ඒත් ඔයාට ඒක දැනුනේ නෑ. අපි වෙන් උනා. ඒත් ආයේ අපි දැන් කතා කරනවා. මං හුගක් දේවල් ඉගෙන ගත්තා. දැන් මං ඔයාට දැනෙන්න ආදරේ කරනවා. ඔයාට ඒක එක පාරට පිලිගන්න බැරි වෙයි. ඒත් කොහොම උනත් ඔයා මාත් එක්ක හිටියත් නැතත් මං ඔයාට ආදරේ කරන එක මං නවත්තන්නේ නෑ…ඇත්තමයි. මං ඔයාට හුගාක් ආදරෙයි. මුලු ජීවීතේම ඔයා කරගන්නවා…
මොකද්ද මේ…..ඔයා බලනවා ඇති මොකද්ද මං මේ කියන්න හදන්නේ කියලා. ඔව්. මං අද කියන්න යන්නේ එක කතාවක් . සමහරවිට මේක ඔයාගේ ජීවිත කතාව වෙන්නත් පුලුවන් . එහෙමත් නැත්නම් ඔයාගේ කතාවට ටිකක් සමාන වෙන්නත් පුලුවන් . කොහොම වුණත් මේක අපි හැමෝටම පොදුයි………. අපි හැමෝම ආදරය ගැන දන්නවනේ මේකත් ආදර කතාවක්. මේකෙත් හිටියා අපි වගේම ආදරණීය කෙල්ලෙකුයි කොල්ලෙකුයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/11111111111.jpg”]
මම උඩින් කිව්ව වචන ටික ඒ කොල්ලා කෙල්ලට කියපු දෙයක්. මෙහෙමයි ඒක වෙන්නේ. මේ දෙන්නා කාලයක් ආදරේ කරා කියලා හිතන්නකෝ. පස්සේ එයාලා වෙන් වෙනවා. කෙල්ල කොල්ලට ගොඩක් ආදරේ කරා. ඒත් කොල්ලා එහෙම නෑ. කොල්ලා ආදරේ කරේ නෑ කියලාම කියන්නෙත් නෑ. ඒත් ඒක දැනෙන්න කරන්න කොල්ලට තේරුමක් තිබ්බේ නෑ. කොහොම හරි දෙන්නා වෙන් වුණා.
කොල්ලයි කෙල්ලයි වෙන් වුනාට අර කෙල්ල ඒ කොල්ලව හිතින් අයින් කරේ නෑ. හැමදාම වගේ ඒ කොල්ලට නොදැනෙන්න කෙල්ල කොල්ල ගැන හොයලා බැලුවා. කොල්ලගේ දුකේදී ඒ කෙල්ල දුක් වුණා වගේම සතුටෙදි සතුටු වුණා. ඒත් මේ කිසි දෙයක් කොල්ලා දන්නේ නෑ. කොල්ලට වෙන කෙල්ලෙකුත් ඉන්නවා ඒ වෙද්දී.
කෙල්ලත් කාලයක් එක්ක වෙන කෙනෙක්ට ආදරේ කරන්න හිත හදා ගත්තා. ඒත් ඒ කෙල්ලට කවදාවත් අර තමන්ගේ පළමු ආදරේට දීපු ආදරේ අනිත් කෙනාට දෙන්න බැරි වුණා. මොකද ඒ වෙද්දී කෙල්ල ආදරේ කියන දේ හිතින් මරලා තිබ්බේ. ඒ ඒ තරම් දුකක් ඒ ආදරේ වෙනුවෙන් ඒ කෙල්ල වින්ද නිසා. ඉතින් අන්තිමට කෙල්ල තනි වුණා. මොකද අර අලුත් පෙම්වතා මේ කෙල්ල එක්ක ඉන්න කැමති නෑ. මොකද කෙල්ලගෙන් ලොකු ආදරයක් ඒ කොල්ලට ලැබෙන්නෙ නැති නිසා. ඉතිං ඒ කොල්ලා යන්න ගියා. කෙල්ල මොකක් කරන්නද, ආදරේ හිත ඇතුලේ මැරෙද්දි හිතට එකඟව තව කෙනෙකුට ළං වෙන්න කෙල්ලෙකුට බැහැ. ගොඩක් පිරිමි පිළිගත්තේ නැති වුණාට ඇත්ත ඒකයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/222222222222.jpg”]
ඉතින් අර කොල්ලත් අවුරුදු ගානක් එයාගෙ අලුත් පෙම්වතී එක්ක ඉන්නවා. ඒත් සතුටක් නෑ. පළමු පෙම්වතී වගේ මේ අලුත් කෙනාව එයාටත් දැනෙන්නේ නෑ. ඒ තරම් ආදරේ කරන්නත් බෑ. අලුත් කෙනා කොල්ලව ඒ තරම් ගනන් ගන්නේ නෑ. හැබැයි එක දෙයක් කියන්න අමතක වුණා. වෙන් වෙලා හිටියත් හැමදාම පළමු පෙම්වතාගේ ෆේස් බුක් ගිණුම බලන්න නම් මේ කෙල්ල අමතක කරේ නෑ. එයා විතරක් නෙවෙයි අපිත් එහෙම තමයි. ඒක ඔයත් දන්නවනේ ඉතිං.. අන්තිමට පළමු පෙම්වතුන් දෙදෙනා ඒ කියන්නේ නොගැළපෙනවා කියලා වෙන්වුණ දෙන්නා ඔවුන්ගේ ෆේස් බුක් පිටු හරහා එකිනෙකාගෙ දුක බෙදාගන්න පටන් ගත්තා.
එක දවසක් කොල්ලා තමන්ගේ දෙවැනි පෙම්වතීවත් දලා ඇවිල්ලා තමන්ගේ ජීවිතේ අලුතින්ම පටන් ගන්න තීරණය කළා. කොල්ලා පළමු පෙම්වතීව තෝරගත්තා. මොකද අවුරුදු ගාණක් ගියත් ඒ කෙල්ල තරම් කොල්ලව තේරුම් ගත්ත කෙනෙක් නැති නිසා. ඉතින් මේ කොල්ලා ආයෙ කෙල්ලගේ ජීවිතේට ආවා. කෙල්ලව නැතුවම බැරි වුණා. කෙල්ල නැගිටිනකොට කොල්ලගෙන් මැසේජ් ගොඩාක් තිබුණා. ඉතින් මේ කතාව පටන් ගන්න කලින් උඩින්ම දැම්මේ කොල්ලා කෙල්ලට කියපු වචන ටිකක්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/333333333333333.jpg”]
කොල්ලාගේ මේ වෙනස කෙල්ලට හරි නුහුරුයි. මොකද පණ. මැණික කියන වචන කොල්ලගේ හදවතින්ම පිට වුණ එක ගැන . කෙල්ල ඒ ආදරේ පිළිගන්න බය වුණා. ඒ ගෙවුණ අතීතයේ කොල්ලා නිසා විදවපු හැටි එයාට මතක නිසා. ඒ කෙල්ල හුගාක් ආදරේට පෙරේත කෙල්ලෙක්. එයාට ඕන එයා මත්තෙම නැහෙන පිරිමියෙක්ව. ඉතිං කෙල්ල තම පෙම්වතාගේ ආදරේ පිළිගන්න ආයේ දෙපාරක් හිතුවෙ නෑ. කෙල්ල ආදරේ විඳින්න පටන්ගත්තා…..
අවුරුදු ගාණකට කලින් මම බලාපොරොත්තුව උන් ආදරේ මේක නේද කියලා කෙල්ලට හිතුණා. මොකද මේ වෙද්දී කෙල්ලත් හිටියේ තනි වෙලා. කෙල්ලට කවුරුවත් ආදරේ කරේ නෑ. ඒත් කෙල්ලගේ සල්ලිවලට එයාගේ නෑදෑයෝ නම් ළංවෙලා හිටියා. ඒත් ජීවිතේ ඇතුළේ කෙල්ල හිටියේ තනිවෙලා. කාත් කවුරුවත් නැති එයා නෑදෑයන්ට ළංවුනේ ආදරයක් ඕන නිසා. ඒත් තම පෙම්වතාගේ ආදරේ ආපහු ලැබුණ නිසා කෙල්ල තීරණය කරා නෑදෑයොන්ට උදව් කරන්නේ නෑ කියලා. මොකද දැන් කෙල්ලට ආදරයක් තියෙන නිසා……….
එක දවසක්… කෙල්ලට කෝල් එකක් ආවා කෙල්ලගේ නැන්දා කෙනෙක්ගෙන්. සල්ලි වගයක් ඉල්ලලා. කෙල්ල එවන්න බෑ කිව්වා. මොකද කෙල්ලට කෙල්ලගෙ ජීවිතේ අලුතින් හදා ගන්න ඕන නිසා. අන්න එදා ඒ නැන්දා කෙල්ල එක්ක තරහා වුණා. කෙල්ලව අත ඇරලා දැම්මා. කෙල්ල දුකට එදා දවසම ඇඩුවා. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි. ආදරේ රැකවරණය බලාපොරොත්තුව හිටි කෙල්ලට නෑයෝ ළංවෙලා ඉන්නේ කෙල්ල දුක් විදලා හම්බ කරන සල්ලිවලට. කෙල්ලට ඇඬුනේ ඒ නෑයෝ කෙල්ලව අත ඇරලා දාපු නිසා නෙමෙයි. මේ තරම් කාලයක් කෙල්ල එයාලගෙ කපටිකම් ඉස්සරහ කර බාගෙන හිටිය නිසා. අද එයාලව අත් අරින්න එයාට ශක්තිය ලැබුණ නිසා. ඒ මොකද කෙල්ලට කොල්ල ඉන්න නිසා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/44444444444.jpg”]
කෙල්ල හිතුවා අද මම අඩන්නේ මගේ ජීවීතේ අන්තිම පාරට. ඊට පස්සේ මං මගේ ජීවිතේ ම වුණු පෙම්වතා එක්ක සතුටින් ඉන්නවා කියලා. මොකද කෙල්ල හිතුවා පෙම්වතා එයාට ශක්තියක් වෙයි කියලා…..ඒත් කෙල්ල කොල්ල එක්ක එදා දවසම කතා කරේ නෑ. කෙල්ල අකමැති වුණා කොල්ල ඉස්සරහ අඩන්න. ඒත් එයා කොල්ල ට මැසේජ් එකක් දලා කිව්වා එයා අඩන බවත් කතා කරන්න බැරි බවත්.
පහුවදා කොල්ලගෙන් කෙල්ලට මැසේජ් එකක්වත් නෑ. ඉතින් කෙල්ල කතා කරා….හැබැයි කොල්ල වෙනදා වගේ නෑ කියලා කෙල්ලට දැනුණා. සිද්ද වුණ හැමදේම ඇය තම පෙම්වතාට කියන්න ගත්තා. දෙන්නා ටික වෙලාවක් කතා කර කර හිටියත් වෙනදා වගේ කොල්ලගේ කටින් අර ආදර වදන් පිට වුනේ නෑ. ඇයට ඒක දැනුණා.
දෙවැනි දවසත් ඒ වගේම ගත වුණා. පුදුමෙ කියන්නේ පෙම්වතාගෙන් එක මැසේජ් එකක්වත් ඇයට තිබ්බෙ නෑ. ඇයගේ මැසේජ්වලට ඔහුගෙන් රිප්ලයි නෑ. කොටින්ම කියුවොත් ඇයගේ කෝල්ස්වලට ඔහුගෙන් උත්තර ලැබුනෙත් නෑ ඒ වෙනුවට ඔහුගෙන් මැසේජ් එකක් ආවා…. ” බිසී “ කියලා. ඇයට අඬුනේ නම් නෑ. හිනා ගියා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/55555555.jpg”]
දවස් දෙකකට කලින් ඔහු ඇයට කියුවා කොච්චර වැඩ තිබ්බත් එයා වෙනුවෙන් කාලය ඔහු ළග ඕන තරම් තියනවා කියලා. ඉතිං ඔන්න ඕකට ඇයට හිනා ගියා. මොකද ගෙවුණ දවස් දෙකට මැසේජ්වලට තත්පරයක් හරි රිප්ලයි පරක්කු වුණොත් ඔහු ඇයගේ ඔලුව කනවා. ඒත් අද තත්ත්වෙ සම්පූර්ණ වෙනස් වෙලා.
ඇයට හෑමදේම තේරුණා. ඇය මෙහෙමත් හිතුවා.
අපරාදෙ මං එයාට මගේ ප්‍රශ්නේ ගැන කියුවේ. අපරාදෙ මං අඩන බව එයාට ඇගෙව්වේ. මට ඒ දේවල් හංගං එයා එක්ක කතා කරන්න තිබ්බේ…..කියල. පස්සේ ඇය මෙහෙම හිතුවා.
ඇයි මං හංගන්නේ? මොකටද? මං ඇඩුවා ඒ අන්තිම පාරට කියලා හිතාගෙන. මොකද ඉස්සරහට හයියක් වෙන්න මට එයා ඉන්න නිසා. ඒත් මගේ කදුලු එයාට වදයක් නම් මොකටද මේ බැදීම? මිනිස්සුන්ට තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඇයි මං හංගන්නේ? මං කෙළින්ම එයාගෙන් අහනවා එයාට මාව වදයක් ද කියලා.
ඉතින් එහෙම හිතපු ඇය ඔහුගෙන් කෙලින්ම අහුවා. වෙනදා මට මැසේජ් කර කර වද දෙන කෙනා අද මට එක මැසේජ් එකක් වත් නෑ. රිප්ලයිත් නෑ. ඔයාට මාව මග අරින්න ඕන නම් කෙළින්ම කියන්න කියලා. දන්නවද ඔහුගේ උත්තරේ මොකද්ද කියලා?
ඔව් …මගේ හිතට හරි නෑ. මම හරි දේ කරන්නේ කියලා මට දැනෙන්නේ නෑ. ඒත් මගේ හිතේ ඔයා හැමදාම ඉන්නවා. මටවත් ඔයාටවත් කවදාවත් ළං වෙන්න බෑ. කරන දෙයක් පරිස්සමෙන් කරන්න. මට හදා ගන්න ගොඩක් දේවල් තියෙනවා……..අපිට එකතු වෙන්න බැහැ ඒත් ඈත් වෙන්නත් බැහැ…
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/6666666.jpg”]
ඔන්න ඕක තමයි අන්තිමට කොල්ලගේ උත්තරේ. දවස් දෙකේ ආදරේ කෝ දැන්. ඒ දවස් දෙකට හරි ඒ කෙල්ලට ළං නොවී හිටියනම් අර නමට හරි සල්ලිවලට හරි එයා පස්සෙන් වැටිලා හිටපු නෑදෑයො ටික එයා එක්ක ඉන්නවනේ. එයා බොරුවට හරි හිත හදන් ඉදියි එයාලා තමන්ට ආදරෙයි කියලා. ඒත් ඇය එක වචනෙන්ම උන්ව හලලා දැම්මේ ඔහු එක්ක අලුතින් ජීවිතයක් පටන් ගන්න ඕන නිසා. ඇය වටේ තිබ්බ හැම බාධකයක්ම අයින් කරා ඔහු ගැන හිතලා. අන්තිමට ආයේ පාරක් ඇයගෙ පපුවට පිහියෙන් ඇන්නා වගේ අහරම කියලා ඔහු යන්න ගියා….ඔන්න ඕකයි අද ඇත්ත….
යකඩ හිත් උණු කරන්න බෑ බං. ඒවා යකඩමයි. කෙල්ලන්ගෙ හිත් තේරුම් ගන්න ලේසියෙන් කාටවත් බෑ. එහෙමයි කියලා බෝසත්වරු පහළ වෙන්නේ නෑ. පිරිමි අය කොහොම හරි ජීවිතේ අරන් යයි. සමහරවිට ඔහුට හිතෙන්න ඇති ඇයට වඩා හොද කෙනෙක් එක්ක ඉස්සරහට යන්නන් පුලුවන් කියලා. ඒත් ඇයගේ හිතේ හුගක් අය නෑ. ඇයට තනිකම නුහුරුත් නෑ. ඒ වගේ අය මේ ලෝකෙ අනන්තවත් ඇති. ඔහු වගේ අයත් අනන්තවත් ඇති. ඒත් කෙල්ලෙක්ගේ කදුලු ඉස්සරහ ප්‍රශ්න ඉස්සරහ දාලා යනවට වඩා ඒ කෙල්ලත් එක්ක එකතු වෙලා ඒ කෙල්ලවත් ගොඩදාගෙන තමන්ගෙ ගමන යන පිරිමි අද හුගාක් අඩුයි.
සැබෑ ජීවිතයේ දී මිනිස්සු හැසිරෙන්නේ හරිම සංකීර්ණ විදිහට. ඔවුන් සබඳතාවල දී සාමාන්‍ය හැසිරීම්වලටත් වඩා සංකීර්ණ හැසිරීම් පෙන්නනවා. ඒක මානවයාට පොදු වුණු විශ්ව ගුණාංගයක් කියලා හිතන්න ඕන.
යම් දිනෙක එක වහලක් යටට ගිය විට බොහෝ දෙනා තමන්ගේ අතීතය දෙස බලලා මැසිවිලි නගනවා. ‘‘අපරාදෙ මට අරය මිස් වුණේ.. ඇත්තටම එයා තමයි මගෙ හරි කෙනා..“
එත් එයා හරි කෙනා නම් ඒ ‘හරි කෙනා‘ ඔබ ළඟ නතර නොවුණේ ඇයි? බොහෝ විට එහෙම වෙන්නේ, ඒ හරි කෙනා ඔයාට හම්බවෙලා තියෙන්නේ ‘වැරදි වෙලාවක‘ වෙන හින්දයි.
ඔයාගේ දෛවයේ ලියවී තියන කෙනා, එහෙමත් නැතිනම් අවසානයේ ඔබ නතරවන කෙනා, ‘හරි කෙනා‘ බව දැන දැනත්, අවසානයේ ඔබ තීරණය කරන්නේ මෙවැනි දෙයක් වෙන්නත් පුළුවන්. ඒ තමයි, ‘වැරදි වෙලාවේ හමු වූ හරි කෙනා‘ වෙනුවට ‘හරි වෙලාවේ හමුවුණු වැරදි කෙනා‘එක්ක ඉතිරි ජීවිත කාලයම ගත කිරීම…
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/777777777.jpg”]
ආදරේයි කියන්න ලේසියි කරන්න අමාරුයි . මං මේ කිව්ව කතාවේ කෙල්ල ඔයා වෙන්නත් පුලුවන් . ඒ නිසා දවස් දෙකේ ආදරේ ගැන හිත හිත දුක් වෙන්න එපා. ඉස්සරහට යන්න තනියම. එතකොට ඔහු වගෙ අය තේරුම් අරන් ළගට එයි දවසක. සල්ලිවලට ආදරේ කියන්න ගෑනු එයි ඕන තරම් ඒත් ඔහුගේ හැගීම්වලට ආදරේ කරන අය බොහොම අඩුයි. ඒකයි ඇත්ත….
නමුත් වැරදි වෙලාවේ හමු වූ හරි කෙනා හෝ හරි වෙලාවේ හමු වු වැරදි කෙනාට සමුදිය යුතු වේලාව හොයාගන්නට පුළුවන් වෙන්නෙත් ඔයාටමයි. ඒ කියන්නේ ඔයාට සබඳතා තුළ යම් අවස්ථාවක මේ විදිහට දැනෙන්න ඇති. ‘‘එයාට උවමනා විදිහට ආදරය දෙන්න මට බෑ මට ඕන ආදරේ එයාගෙන් ලැබෙන්නෙත් නෑ..‘‘ දිගින් දිගටම තත්වය මෙහෙම නම් කරන්න ඕන හොඳම දේ,එයාට ඔයාගෙනුත් ඔයාට එයාගෙනුත් මිදී යන්න ඉඩදීමයි.
ඒක වේදනාවක් තමයි. ඒත් ජීවිතයේ කවදාහරි දවසක, ආපසු හැරිලා බලද්දී ඒ වේදනාව ඇතුලේ සදාකාලික සුන්දරත්වයක් තියනවා නේද කියලා ඔයාට හිතෙයි… ඒ නිසා ඔයා ශක්තිමත් වෙන්න. හිතන්න අපිට අපේ දෛවයේ ලියවුණ කෙනා කොහේ හෝ තැනකදි අපට ඉක්මනින් හමුවනවා කියලා..
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/8888888888888.jpg”]
-ශානිකා රත්නායක-