මහවැලි පාලම ආසන්නයේ තහනම් කළ කලාපයක වැලි ජාවාරමක් සිදුවන බව අනාවරණය වුණා. මෙම ජාවාරම සිදුකර ඇත්තේ මහියංගනය රජමහා විහාරස්ථානයට ආසන්න මහවැලි ගඟේ තොටුපොළකින් බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. පොලීසිය සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස වැලි පැටවීමේ නිරත වූ පිරිසක් ජාවාරමට යොදාගත් උපකරණ හැර දමා පැන ගොස් තිබෙනවා. පසුව කළ සෝදිසි මෙහෙයුම්වලදී පලා ගිය ජාවාරම්කරුගේ නිවසේ ගෙවත්තේ බලපත්‍ර නොමැතිව තිබූ වැලි තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා.
මහියංගනය වේරගන්තොට මහවැලි පාලම ආසන්නයේ සිදු කෙරෙන වැලි කැණීම් හේතුවෙන් පාලම කඩා වැටීමේ අවදානමක් ඇති බව මාධ්‍ය මගින් හෙළි කිරීමත් සමග එම පාලමට ඉහළ සහ පහළ කිලෝමීටරයක පමණ සීමාව තුළ වැලි කැණීම සපුරා තහනම් කර තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ වැලිකැණීමේ නිරත වන්නන්ට ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය යටතේ එක්දින වැලි කැණීම් බලපත්‍ර ලබා දී ඇති බවයි. එහෙත් වැලි ජාවාරම්කරුවන් එය උල්ලංඝනය කරමින් ජාවාරම්වල නිරත වනවා. එක් දින වැලි කැණීම් බලපත්‍ර යටතේ වැලි පැටවීමේදී ග්රාමසේවකවරයාගේ අධීක්ෂණයට ලක් විය යුතුයි. නීති විරෝධී ලෙස වැලි පැටවීම නිසා මෙම ප්‍රදේශවල විශාල පාරිසරික හානියක් සිදුව ඇති බව සඳහන්.