හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොයුරු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා අයථා ලෙස පරිහරණය කළ බව අද හෙළි වුණා.
ශ්‍රී ලංකන් එයර් ලයින්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන සමාගම්වල සිදු වූ බව කියන අක්‍රමිකතා සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ මේ බව අනාවරණය වුණා. එහිදී සාක්ෂි ලබා දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් පාලන කළමනාකරු ගෝපිත ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ දෙදහස් දා හතර වසරේ දිනක නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව වෙත පැමිණිම සදහා සිංගප්පූරුව වෙත වෙනත් ගුවන් යානයක් එවන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවයි. ඒ ඔහු නැවත කොළඹට පැමිණීමට නියමිතව තිබූ යූ එල් තුන්සිය හය දරණ ගුවන් යානයේ ඉන්ධන කාන්දුවක් ඇති වීම නිසා ප්‍රමාද වීමක් ඇති වී තිබෙන බව පවසමින්. රජයේ නියෝජිතයින් පිරිසක් සිටින බැවින් හැකි ඉක්මනින් ගුවන් යානයක් එවන ලෙසට ව්‍යාජ හේතු දක්වමින් ඔහු වෙනත් ගුවන් යානයක් ගෙන්වාගෙන තිබුණා
ගුවන් ගමන් වාර සැළසුම් කිරීම මාස හයකට පෙර සිදු කිරීම ක්‍රමවේදය බවත් එය නොසළකා හරිමින් ක්වාලා ලම්පූර් සිට කොළඹ බලා ඒමට තිබූ යූ එල් තුන්සිය දහ නවය දරණ ගුවන් යානය සිංගප්පූරුවට හරවා යවා නිශාන්ත වික්‍රමසිංහ මහතාව නැවත කොළඹට ගෙන්වා ගත් බව සාක්ෂි ලබා දෙමින් ඒ මහතා කියා සිටියා. එම ගුවන් යානය තුළ මගීන් එකසිය විසි හතර දෙනෙකු සිටියද නිශාන්ත වික්‍රමසිංහ මහතා ගුවන් යානය ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත්තේ එම මගීන්ගේ අපහසුතාවය නොසළකා හරිමින් බවත් ඒ මහතාගේ බිරිද සහ එවකට පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුව සිටි ආචාර්ය සරත් අමුණුගම මහතාවද ගුවන් යානයෙන් රැගෙන ඒමට කටයුතු කර ඇති බවත් කොමිසම හමුවේ අනාවරණය කළා. නමුත් සරත් අමුණුගම මහතා එවැනි ඉල්ලීමක් සිදු කර නැති බව හෙළි වුණා. ගුවන් යානයක් ගමන්වාර අතරතුරදී ආපසු හරවා යැවීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විශාල පාඩුවක් සිදු වූ බවයි ගෝපිත ඉන්ද්‍රජිත් මහතා වැඩිදුරටත් කියා සිටියේ.