බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ චෝදනා 4 කට වැරදිකරු කළ අභියාචනාධිකරණය වසර 19 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමකර එය වසර 6 කදී එකවර ගෙවෙන පරිදි වසර 6 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළා.
2016 වසරේ ජනවාරි මස 25 වනදා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේයි මෙම නඩුව ගොනුකර තිබුණේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ විනිසුරු ශිරාන් ගුණරත්න මහතායි තීන්දුව ප්‍රකාශයට පත්කළේ. විත්තිකරුට එල්ලවී ඇති සියලු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇති බවට අභියාචනාධිකරණය තීරණය කළා.
මෙම තීන්දුව වහාම ක්‍රියාත්මක කරන ලෙසට අභියාචනාධිකරණය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගකර සිටියා. කෙසේ වෙතත් ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. උන්වහන්සේ වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට උන්වහන්සේගේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් පවතින මොහොතක විත්තිකරු අධිකරණයේ අවසරයකින් තොරව අනපේක්ෂිත ලෙස අධිකරණය ඇමතීමෙන් අධිකරණයේ බලය අභියෝගයට ලක්වන ආකාරයට කටයුතු කර ඇති බව සාක්ෂිවලින් ඔප්පුවන්නේ යැයි ද අභියාචනාධිකරණය තීන්දු කළා. ඒ අනුව පළමු චෝදනාවට වසර 7 ක බරපතල සිර දඩුවම් නියම කෙරුණා. දෙවන චෝදනාවට වසර 4 කද තුන්වන චෝදනාවට වසර 6 කද සිර දඩුවම් නියම කෙරුණා. 4 වන චෝදනාවට වසර 5 ක සිර දඩුවම් නියම කළා.