පසුගිය දවස්වල මේ මාතෘකාව ගැන බොහෝ දෙනාට කතා කරන්න සොයා බලන්න සිද්ධ වුණ ආකාරයේ දෙයක් සිද්ධ වුණා. ඒ තමයි කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි යුවළක් තමන්ගේ සුනඛ සුරතලාව කටුනායක ගුවන් තොටට ගෙන ඒමේදී රේගු නිලධාරීන් සමඟ සිදු වූ බහින්බස් වීමේ සිද්ධිය.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/Kuwaiti-couple-attack.jpg”]
විදේශයක ඉඳලා සජීව හෝ අජීව වස්තුවක් හිතු මනාපයට ගෙන එන්න කාට හෝ පුළුවන්ද? මේ පිළිබඳව පවතින කාර්ය පටිපාටියට අපි කියනවා “සත්ව නිරෝධායනය“ කියලා. ඕනෑම රටක මේ සත්ව නිරෝධායනය සම්බන්ධයෙන් පිළිගත් නීති මාලාවක් පවතිනවා. ඒ නීතිය ශ්‍රී ලංකාවෙත් පවතිනවා. ඒ නිසා විදේශයකින් අපේ රටට ඇතුළු වන ඕනෑම කෙනෙක් මේ නීතියට අවනත වීම අනිවාර්යයි.
ශ්‍රී ලංකාවේ සත්ව හා ශාක නිරෝධායනය සම්බන්ධයෙන් කතා කරද්දි රේගු නීතිය යටතේ විවිධ ආඥා පනත් සෘජුවම ක්‍රියාත්මක කිරීමට රේගු නිලධාරීන්ට බලතල ලබා දී තිබෙනවා. ඒ අනුව කිසියම් ශාක හෝ සත්ව විශේෂයක් මෙරටට ගෙන ඒමේදීත් ඊට අදාළ නීතියක් තිබෙනවා. මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ ශාක නිරෝධායන ආයතනය හා සත්ව නිරෝධායන ආයතනයයි.
මේ මුලින් කියූ සිදුවීමට අදාළ වෙන්නේ සුනඛයෙක් නිසා අපි සත්ව නිරෝධායනය පිළිබඳව කතා කරමු.
සාමාන්‍යයෙන් විදේශයක ඉඳලා සත්වයෙක් අපේ රටට රැගෙන එනවා නම් ඒ සත්වයාට බලපත්‍රයක් නිකුත් කරනවා. මේ බලපත්‍ර නිකුත් කිරීමේදී සතුන් වර්ග 2ට බෙදා දක්වනවා.
වන සතුන්.
ගෘහාශ්‍රිත සතුන්.
මේ වර්ගීකරණය අනුව සතුන් සඳහා වෙන වෙනම බලපත්‍ර නිකුත් කරනු ලබනවා. ඒ අනුව සත්වයාව සත්ව නිරෝධායන ආයතනයේ පරික්ෂාව යටතේ ඒ ගැන අනුමත කළ සහතික කිරීම යටතේ අදාළ සත්වයා රැගෙන ඒමට හැකියි. එහිදි එක් දිනක් අදාළ සත්වයාව පරීක්ෂණ සඳහා රඳවා තබා ගන්නවා. එසේ රඳවා තබාගෙන පරික්ෂණ හා අවශ්‍ය නීති රෙගුලාසි සම්පූර්ණ කළ පසු සත්වයාව මුදා හරිනවා. ඉන් පසුවයි ශ්‍රී ලංකා රේගුව වෙතට සත්වයා යොමු කෙරෙනවා.
මෙහිදී විශේෂ කරුණක් තමයි අදාළ සත්වයා මෙරටට ගෙන ඒමට පෙර ඒ සත්වයා ජීවත් වූ රටෙන් සත්වයාගේ සෞඛ්‍යය තත්වය සම්බන්ධයෙන් සහතිකයක් ලබා තිබීම. එහිදී මේ සත්වයා යහපත් සෞඛ්‍යය තත්වයෙන් සිටින බවට සහතික කර ගැනීම අත්‍යවශ්‍යය කරුණක් වනවා. මීට අමතරව මේ සත්වයාට බදු මුදලක් ද නිකුත් කරනු ලබනවා.
නීතිමය තත්වය…
සත්ව නිරෝධායන ආයතනයේ මේ නීති උල්ලංඝනය කිරීම බරපතල වරදක්. මේ නීතිවලට පටහැනිව යම් කිසි පුද්ගලයෙක් කටයුතු කරනවා නම් අදාළ භාණ්ඩ රාජසන්තක කිරීමට හෝ නඩු විභාග කිරීමට හැකියාව තිබෙනවා. එහෙමත් නැතිනම් සත්වයාව ආපසු පැමිණි රටටම පිටත් කර යැවීමට සිදු කළ හැකියි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/24947-custom-officers-case427437002.jpg”]
ඇයි මෙහෙම නිරෝධායනයක් අවශ්‍යය?
වෙනත් රටකින් අපේ රටට යම්කිසි ශාකමය හෝ සත්වමය ද්‍රව්‍යයක් රැගෙන එන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. හැබැයි ඊට අදාළ නීති රෙගුලාසි අනුගමනය කිරීම වඩාත් වැදගත් වෙනවා. මේ විදියට නීති රීති පනවා තිබෙන්නේ ඇයි?
මෙහෙම සත්වයෙක් රට ඇතුළට රැගෙන එද්දී ඒ සත්වයා මඟින් විවිධ ලෙඩරෝග ඇති වෙන්න පුළුවන්. සමහරවිට භයානක රෝගකාරක වෛයිරසයන් පැතිරෙන්න පුළුවන්. ඉතිහාසයේ එවැනි අවස්ථාවලට සාක්ෂි ඕනෑතරම් අපට හමුවෙලා තිබෙනවා. ඉතින් මේ වගේ අවදානම් සහගත තත්වයන් වළක්වා ගැනීමට තමයි සත්ව නිරෝධායනයක් සිදුකරන්නේ. යම් විදියකින් මේ කියපු ආකාරයේ රෝගාබාධයක් මෙහෙම පැමිණෙන සත්වයෙකු මගින් රට තුළට පැතිරුණහොත් ඒ සම්බන්ධයෙන් රජයට විශාල පිරිවැයක් දරන්න වෙනවා. මහජන සෞඛ්‍යයට බරපතල විදියට හානි සිදු වෙන්න තිබෙන ඉඩකඩද වැඩියි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/image_1532696734-ef5de637e6.jpg”]
මේ සිදුවීම සිදුවුණේ කුවේට් රාජ්‍යයේ සිට ලංකාවට පැමිණි යුවළක් හා රේගු නිලධාරීන් අතරයි. ඒ නිසා දැන් අපි බලමු මේ විදියට යම්කිසි සත්වයෙක් වෙනත් රටකින් කුවේට් රාජ්‍යයට ඇතුළත් කරන අවස්ථාවක ඒ රටේ සක්ව නිරෝධායනය සිදුවන්නේ කොහොමද කියලා.
කුවේට් රාජ්‍යයේ සත්ව නිරෝධායන නීතිය..
කුවේට් රාජ්‍යය කියන්නේ දැඩි නීතිමය රාමුවක් තුළ කටයුතු කරන රටක්. වෙනත් රටකින් කුවේට් රාජ්‍යයට සත්වයෙක් රැගෙන යන විට ඉතාම විධිමත් නීතියක් ක්‍රියාත්මක වෙනවා.
සුනඛයන් සම්බන්ධයෙන් නම් කුවේට් රාජ්‍යයට ඇතුළත් කර නොගන්න සුනඛ විශේෂ කිහිපයක් තිබෙනවා. “Pitbulls, Rotweiler, Staff Terries, Amercan Bulldogs” වැනි සුනඛ විශේෂයන් කුවේට් රාජ්‍යයට ඇතුළත් කිරීම සම්පූර්ණයෙන් ම තහනම්.
කුවේට් රාජ්‍යයට සත්වයෙක් ඇතුල් කර ගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු.
මුලින්ම සුනඛයාව පශු වෛද්‍යවරයෙක් වෙත යොමු කළ යුතු වෙනවා. එහිදී මේ සුනඛයා යහපත් සෞඛ්‍යය තත්වයෙන් සිටින බව හා පණුවන්, කිනිතුල්ලන් හා මැක්කන් වැනි පරපෝෂිතයන්ගෙන් තොර බවට සහතික කරගත යුතු වෙනවා. ඒ වගේම විවිධ ලෙඩ රෝග සම්බන්ධයෙන් (ජලභීතිකාව වැනි) එන්නත් කිරීම් සිදුකර තිබීම ද වැදගත් වෙනවා. මේ සඳහන් කළ සියලු දත්ත ඇතුළත් කළ “ මයික්‍රෝ චීපයක්“ ලබා ගැනීම මීළඟ වැදගත්ම කරුණයි. එ වගේ ම එක් ගුවන් ගමන් වාරයකදි ගෙන යා හැකි වන්නේ එක් සත්වයෙකු පමණයි.
සියල්ල අවසානයේ මේ විදියට රැගෙන එන සත්වයාව කුවේට් ගුවන් තොටුපොළේදී පරික්ෂාවට ලක් වෙනවා. එතැනදි අදාළ සත්වයා ගේ භාරකරු තමන් බවට සහතික කළ ලියවිල්ලක් ද ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම මේ සත්වයා ජීවත් වූ රට ජලභීතිකාවෙන් තොර රටක් වීම මෙහිදී අනිවාර්යය වෙනවා. යම් විදියකින් එවැනි රටක සිටි සත්වයෙකු නම් එම අවදානම සහිත ප්‍රදේශයෙන් කිලෝමීටර 25ක් එපිටින් සිටි බව තහවුරු කළ යුතුයි.
ඒ වගේම මෙම නීති රෙගුලාසි කඩ කරනවා නම්, කළහකාරී ලෙස හැසිරෙනවා නම් ඒවාට ලැබෙන දැඩි දඬුවම්වලින්ද අඩුවක් නැහැ.
ඉතින් මේ සිදුවීම සිදුවුණේ කුවේට් වැනි රටක සිට මෙරටට පැමිණි යුවළක් හා රේගු නිලධාරීන් අතරයි. මේ පුවත ගැන විවිධ මතවාද බොහෝ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ වුණා. ඇත්තටම එහි වරද තිබෙන්නේ මේ පැමිණි යුවළගේ ද? නැත්නම් ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේද? ඒ ගැන හොයන්න මේ වෙද්දිත් පරික්ෂණ ආරම්භ වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඉක්මන් විනිශ්චයක් නොදී ඉන්න ප්‍රවේසම් වෙමු.
– සුපුන් භාග්‍යා වීරකෝන් –