කෘෂි කර්මාන්තයේ අංශ රැසක ප්‍රවර්ධනය වෙනුවෙන් වැව් දහසක් – ගම් දහසක් ප්‍රතිසංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ හෙට ආරම්භ කෙරෙනවා. මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ අපි වවලයි – අපි කන්නේ කෘෂිකර්ම සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 18න් ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙසයි.
රජයේ තවත් සංවර්ධන වැඩපිළිවෙළක් යථාර්ථයක් බවට පත්කරමින් වැව් දහසක් ගම් දහසක් වැඩපිළිවෙළ නිකවැරටිය, මහගිරිඋල්ල, ගල්කඩවල වැව්තාවුල්ලෙන් ආරම්භ කෙරෙනවා. මෙම වසර තුළ වැව් දහසක් සහ ඒ ආශ්‍රිතව ඇති ගම්මාන දහසක් ප්‍රතිසංස්කරණය කිරීම වැඩපිළිවෙලේ අරමුණයි.
දැනට ඇති සංඛ්‍යාලේඛනවලට අනුව රට තුළ ඇති සුලු වාරිමාර්ග යෝජනා ක්‍රම සංඛ්‍යාව 37928ක්. ඉන් 12500ක් ප්‍රතිසංස්කරණය සදහා යෝජනා ඉදිරිපත්කර තිබෙනවා. මේ වනවිට අතහැර දමා ඇති වැව් සංඛ්‍යාව 2055ක් ලෙස ගණනය කර ඇති අතර අමුණු 1578 ක් ද අතහැර දමා ඇති බව වාර්තා වනවා.
මෙම අතහැර දමා ඇති වැව් අමුණු සියල්ල ඉදිරි වසර තුන තුළ ප්‍රතිසංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ඒ සදහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන නවදහසක්. පළමු අදියරේදී වැව් 370 ක් සංවර්ධනය කිරීම සැලසුමයි.
දැනට විධිමත් ජල පහසුකම් නොමැතිවීම මෙන්ම ජනතාවගේ උනන්දුව අඩුවීම මත පුරන්ව ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 130,864ක්. රතු නිවේදන නිකුත් කිරීම හේතුවෙන් කුඹුරු අක්කර 15058ක් වගා කිරීමට පියවර ගෙන තිබෙනවා. වැව් දහසක් – ගම් දහසක් දැවැන්ත ව්‍යාපෘතිය ඔස්සේ එම සියලු පුරන් කුඹුරු අස්වැද්දීමට හැකිවීම තුළින් කෘෂි ආර්ථිකයේ නව ප්‍රබෝදයක් සිදුවනු ඇති.