බොහෝ පුද්ගලයන්ගේ උප්පැන්න සහතිකයෙන් ගැනෙන වයස සහ ශරීරය වියපත් වීම අතර විශාල පරතරයක් තිබෙනවා. මිනිසකුගේ රුධිර සාම්පලයක් ගෙන එහි අඩංගු රසායනිකයන් නවයක් පරීක්ෂාවට ලක් කිරීම මඟින් ඒ තැනැත්තාගේ ශරීරය කොතෙක් වියපත්ව ඇත්දැයි ගණනය කිරීමේ පර්යේෂණක් සිදුකිරීමට අමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා.
සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගයෙන් ශාරීරිකව වයසට යන මිනිසුන්ව මේ ලේ සාම්පල් පරීක්ෂාව මඟින් කලින් හඳුනාගන්න පුළුවන්. කිසිම අසනීපයක් නැති, බැලූ බැල්මට නිරෝගී යැයි පෙනෙන මිනිසුන්ගේ මේ පරීක්ෂණය කර බැලූ විට ආයු අපේක්ෂාව ගැන දැනගන්න ලැබුණේ මවිත වෙන විදියේ ප්‍රතිඵල බවයි මේ පර්යේෂණ මෙහෙයවූ ව්‍යාධිවේදී මෝගන් ලෙවින්ගේ සොයා ගැනීම වූයේ.
කිසියම් රෝගයක රෝග ලක්ෂණ පහළවෙන්න කලින් හඳුනා ගන්නත්, ජීවිත අවදානමක් ඇති විය හැකි රෝග ගැන කල්තියා අනාවැකි පළකරන්නත් මේ ක්‍රමය අනුව පුළුවන් බවයි එම පර්යේෂකයන් පවසන්නේ.
මෙහි ඇති වැදගත් ම දෙය මේ ඇසුරින් වේගයෙන් ශරීරය වයසට යන අය හඳුනාගන්නට පුළුවන් වී තිබෙනවා.ඒ ශරීරයේ විවිධාකාර මිනුම් 42 ක් ගැන අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි. උදාහරණ ලෙස, සුදු රුධිරානු ගණන, රුධිරයේ ග්ලූකෝස් මට්ටම, රුධිරයේ ඇල්බියුමින් ප්‍රමාණය මෙන් ම විශාල පිරිසකගේ වෛද්‍ය වාර්තා ගැන තොරතුරු මෙන් ම ජීවන විලාසය ගැනත්, මරණ පිළිබඳ වාර්තාත් මෙහිදී ඔවුන් අධ්‍යයනය කර තිබුණා.
පුද්ගලයන් ශාරීරිකව වියපත් වීමේ වේගය වැඩි කරන හේතු මොනවා දැයි නිවැරදිව ම සොයා ගැනීම ඔවුන්ගේ මීළඟ පර්යේෂණයේ අරමුණ වී තිබෙනවා. දැනට ඒ සඳහා ඔවුන් සැක කරන හේතු වන්නේ “තනිකම, පහළ අධ්‍යාපන මට්ටම, දීර්ඝකාලීන මානසික ආතතිය සහ දුම්පානය, ව්‍යායාම මදිකම සහ ස්ථුලතාව” යන සාධකයි. මේවා ගැන මීළඟ පර්යේෂණයේදී වඩාත් විද්‍යාත්මකවත්, ස්ථිරවමත් කරුණු ඉදිරිපත් කිරීමට ලෙවින් ඇතුළු පර්යේෂක කණ්ඩායම අපේක්ෂා දල්වාගෙනයි සිටින්නේ.
-ශානිකා රත්නායක-