Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකන් එයාර්ලයින් තවත් අක‍්‍රමිකතාවක් හෙලි වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 19:05

ශ්‍රී ලංකන් එයාර්ලයින් තවත් අක‍්‍රමිකතාවක් හෙලි වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා යටතේ සිටි රියදුරන් තුන් දෙනා රාජකාරී පැය 8 ඉක්මවා සෑම දිනකම පැය 15කට ආසන්න කාලයක් අතිකාල දීමනා ලබා ගෙන ඇති බව අද (11) හෙළි වුණා. ශ්‍රී ලංකන් එයාර්ලයින්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන ආයතනවල සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සෙවීම සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි කැඳවූ අවස්ථාවේ දීයි මේ බව හෙළි වුණේ.

කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයතනික ලේකම්වරියක වන ඩැලරින් තිරුකුමාර් මහත්මියයි. පී ඩී එස් දේවප්‍රිය, ලක්මාල් කුරේ සහ සුදත් රණසිංහ යන රියදුරන් තුන් දෙනාගේ අතිකාල දීමනා පිළිබඳ ලිපි ගොණු කොමිසම හමුවේ අද (11) ඉදිරිපත් කෙරුණා. මානව සම්පත් කළමනාකරණ අංශය කළ විමසීමක දී මොවුන් තුන් දෙනා නිශාන්ත වික්‍රමසිංහ මහතා යටතේ සේවයට පත්කළ රියදුරන් බවට ප්‍රකාශ කළ බවයි තිරුකුමාර් මහත්මිය කියා සිටියේ. ඒ අනුව 2011 වසරේ අප්‍රේල් මාසයේ සිට 2015 වසරේ පෙබරවාරි දක්වා සෑම මාසයකම අතිකාල හා වැටුප් පිළිබඳ වාර්තා පරීක්ෂා කෙරුණා. ඇතැම් මාසවල ලබා දී ඇති අතිකාල දීමනා පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් ද ඇති වුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයාගේ කාර්ය මණ්ඩලය සඳහා 2008 වසරේ සිට 2015 දක්වා ගෙවා ඇති සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සම්බන්ධ ලේඛන ද තිරුකුමාර් මහත්මිය කොමිසම වෙත ඉදිරිපත් කළා.

2013 වසර වන විට රුපියල් මිලියනයකට වැඩි අතිකාල මුදලක් හා රුපියල් මිලියන තුනකට වැඩි වැටුපක් හිටපු සභාපතිවරයාගේ කාර්ය මණ්ඩලය වෙත ලබා දී ඇති බවයි කොමිසම හමුවේ හෙළි වුණේ. මෙම කාර්ය මණ්ඩලයට සභාපතිවරයා සමග ලේකම්වරියන් දෙදෙනෙකු පමණක් ඇතුලත් වන බවත් රියදුරන් සඳහා ගෙවා ඇති වැටුප් මීට අදාල වන්නේ දැයි තමා නොදන්නා බවත් තිරුකුමාර් මහත්මිය කොමිසම හමුවේ කියා සිටියා. 2011 වසරේ අපේ‍්‍රල් පළමුවනදා සිට 2014 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ ඇමෙරිකා ඩොලර් පනස් අට දහස් තුන්සිය විසි පහක්, විදේශ ගමන්, හෝටල් ගාස්තු, ආහාර, දුරකතන ගාස්තු හා වෙනත් වියදම් සම්බන්ධයෙන් වැය කර ඇති බව කොමිසම හමුවේ හෙළි කෙරුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 19:05
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්