දින 17 ක් තායිලන්තයේ ගුහාවක සිරවී සිටි සියලු දෙනා නිදහස් කර ගැනීමට අද හැකිවුණා. විස්මිත මෙහෙයුමකින් පසුවයි ඔවුන් බේරා ගැනීමට හැකිවුණේ.
යොවුන් පාපන්දු ක්‍රීඩකයින් හා පුහුණුකරු මෙලෙස ගුහාවක අතරමං වුණේ පසුගිය ජූනි 23 වනදායි. ඒ අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වයක් සමගයි. ඔවුන් ගුහාව තුළ සිටින බවට නිශ්චිත වශයෙන් කිමිදුම්කරුවන් සොයා ගත්තේ මීට සතියකට පෙරයි. ඔවුන් ගුහාවේ දොරටුවේ සිට කිලෝමීටර 4 ක් පමණ ඇතුළට වන්නට ගමන් කරමින් සිටියදීයි ගංවතුර තත්ත්වය ඇතිවුණේ. ඊයේ වන විට කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිව දරුවන් 08 දෙනෙකු මුදාගැනීමට හැකි වුණා. ඔවුන් සියලු දෙනා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. කෙසේ නමුත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. දරුවන් බේරා ගැනීමේ මෙහෙයුමට කිමිදුම්කරුවන් 90 දෙනෙකු එක්ව සිටියා. ඔවුන්ගෙන් 40 දෙනෙකු තායිලන්ත ජාතිකයින් වනවා. මෙම සිද්ධිය පිළිබද ලෝකයේම අවධානය යොමු වූ අතර ඒ අනුව දරුවන් බේරා ගැනීමට විදෙස් කිමිදුම්කරුවන් 50 දෙනෙකුගේ ද සහාය හිමිවුණා. කිමිදීමෙන් දරුවන් බේරාගත යුතු බවට මුලින්ම යෝජනා කෙරුණා. එහෙත් ඇතැම් දරුවන්ට පිහිනීමට නොහැකි බැවින් එම ක්‍රමය අත්හැර දැමුණා. ගුහාව වෙනත් ස්ථානවලින් සිදුරු කරමින් දරුවන් සමීපයට ගමන් කළ හැකි ද යන්න පිළිබදව ද සොයා බැලුවා.එහෙත් එම සියලු ක්‍රම වේද අසාර්ථක බැවින් මෙහෙයුම සදහා සුවිශේෂ ක්‍රමවේදයක් සකස් කෙරුණා. එනම් ඇවිදයාමෙන් , පිහිනීමෙන් , කිමිදීමෙන් හා ගුහාව තුළ බිත්ති කඩා ඉවත් කිරීමෙන් පිරිස ඉවතට ගැනීම එම ක්‍රමවේදයි. මේ අනුවයි අති දුෂ්කර කාර්යකින් අනතුරුව ගුහාවේ සිටි පිරිස බේරා ගැනීමට හැකිවුණේ. එහෙත් සිය දිවි පරදුවට තබා මෙහෙයුමේ නිරත වූ එක් කිමිදුම්කරුවෙකුට ජීවිතය අහිමිවුණා. මෙහෙයුමේදී ඔහු සතුව තිබූ ඔක්සිජන් අවසන් වීමෙන් පසුගිය සිකුරාදා ඔහු ජීවිතය හැර ගියා.