Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජපක්ෂලාට පමණක් හිමි දණ්ඩමුක්තිය (Video)

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 18:20

රාජපක්ෂලාට පමණක් හිමි දණ්ඩමුක්තිය (Video)

නීතිය හමුවේ  වරදක් වන දෙයක් කර දඬුවමක් නොලැබ සිටීම සඳහා කෙනෙකුට ලැබෙන වරප්‍රසාදයට කියන්නේ “දණ්ඩමුක්තිය” කියාය. එහෙත් මේ දණ්ඩමුක්තිය වරප්‍රසාදය රටේ සාමාන්‍ය පුරවැසියන්ට හිමි නැත. ඒ වරප්‍රසාදය හිමිවන්නේම බලපුළුවන්කාර සීමිත පිරිසකට පමණය. ඒ සීමිත පිරිස  දේශපාලන බල පුළුවන්කාරකම අනුව නිශ්චය වේ.

අපේ රටේ මේ දණ්ඩමුක්ති වරප්‍රසාදය ගැන හොඳින්ම තේරුම්ගත හැකි නිදර්ශනය වන්නේ රාජපක්ෂ පවුල් ගසය.

ආසන්නතම නිදර්ශනය ලෙස චීන සමාගමක් වෙතින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඩොලර් මිලියන 7.6 ක කොමිස් මුදලක් ලබාගැනීම ගැන සඳහන් කළ හැකිය.  නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මේ  අනාවරණය සිදුකර සතියකට අධික කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධව මෙරට වගකිව යුතු පාර්ශ්ව ක්‍රියාත්මකව නැත. ඒ අතර බැසිල් රාජපක්ෂ ගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂගේ නමට චීන සමාගමක් විසින් ලබා දුන් රුපියල් කෝටි 2 කට ආසන්න චෙක් පතක් ගැනද  2016 කාලයේම හෙළිව තිබුණද, තවම නඩුවක් ගැන නම් අසන්නට නැත.

තමන් අත් අඩංගුවට ගැනීමට ඉඩ ඇතැයි සඳහන් කරමින්  ඉන් වැළකීම වෙනුවෙන් හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමද මීට ඇති තවත් නිදර්ශනයක්ය.

එය 2015 මැයි මස 13 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ තුන් විනිසුරු මඬුල්ලක් හමුවෙහි කැඳවනු ලැබිණ. එහිදී පෞද්ගලික හේතු මත එක් විනිසුරුවරයකු පෙත්සම් විභාගයෙන් ඉවත් විය. එදින ඉතිරි විනිසුරුවරුන් දෙපළ එහි තීන්දුව ලබා දුන්නේ  නඩු දෙකක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම තාවකාලිකව වළකාලන නියෝගයක් සහිතවය.

මේ වනවිට එම තාවකාලික නියෝගයට අවුරුදු තුනකි. ඒ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුළු තුනක් එම පෙත්සම ඇසීම විටින් විට කල් තැබීමෙන් හා විනිසුරුවරුන් ඉවත් වීමෙන් පසුගිය ජූනි 01 වන දින දක්වා පෙත්සම විභාගය කල් තැබුණි. එහෙත්  එදිනද  තවත් විනිසුරුවරයෙකු නැවතත් පෞද්ගලික හේතු දක්වමින් නඩු කටයුත්තෙන් ඉවත්විය. දැන් එම නඩුව නැවත අසන්න නියමිතව ඇත්තේ  මේ වසරේ නොවැම්බර මාසයේය.

හිටපු ජනාධිපති ආර්යාවගේ සිරිලිය ගිණුම සම්බන්ධ විමර්ශනය ද එසේමය. එහිදී සිදු වූ එකම ක්‍රියාදාමය වූයේ චූදිතයා වන ශිරන්ති රාජපක්ෂ කතානායක නිලනිවසට කැඳවා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් ප්‍රකාශයක් සටහන් කරගැනීම පමණය. ඉන් පසුව 2016 මාර්තු මස 04 වන දින නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා  නීතිපතිවරයා වෙත යවා ඇතත් ඉන් පසුව මෙම පරීක්ෂණ සඳහා සිදුවූයේ කුමක්දැයි කිසිවෙකුත් දන්නේ නැත.

එපමණක් නොව බීමට වතුර පොදක් ඉල්ලා පාරට බැස්ස වරදට හමුදාව යොදවා අහිංසකයන් තුන්දෙනෙකු ඝාතනය කරවූ රතුපස්වල නඩුවද  ඔක්තෝබර් 10 වැනිදාට කල්ගොස් ඇත. ඒ, පරීක්ෂණ අවසන් කර උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇතත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති නිසාය.

ඒ සිදුවීම් කිහිපයක් පමණය. රාජපක්ෂ සමයේ සිදුවූ අහස පොළව නුහුලන සෑම ජාතික අපරාධයකටම අත්වෙමින්  තිබෙන්නේ මීට සමාන ඉරණමක්ය. නීතිය ඉටුවීම පමාවෙමින් තිබේ. නව අධිකරණ පිහි‍ටුවීම ද පමා වෙමින් තිබේ.

පවතින මේ පසුබිම  පෙන්නුම් කරන්නේ නොදන්නා නොපෙනෙන නොතේරෙන හේතූන් මත දණ්ඩමුක්තියේ වරප‍්‍රසාදය ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් විවිධාකාරයෙන් සහ විවිධ මට්ටම්වලින් ක‍්‍රියාත්මකව තිබෙන බවය. ඒ හමුවේ යහපාලනය බලාපොරොත්තු වූ ජනතාව, සමාජ යුක්තිය ඉටුවීම ගැන තැබූ අපේක්ෂාවන් භංග වෙමින් ඇත.

දැනට මේ ඇති සෙස්ස පස්සට….

– තත්පර 180 –

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 18:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්