Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩවර්ජන: ගල් ගහන්නේ ආණ්ඩුවට – රිදෙන්නේ ජනතාවට

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 11:41

වැඩවර්ජන: ගල් ගහන්නේ ආණ්ඩුවට – රිදෙන්නේ ජනතාවට

උද්ඝෝෂණයක් යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක පවතින අති ප්‍රබල සංකල්පයකි.තමන්ට නිදහසේ රැස් වීමේ අයිතිය සාක්ෂාත් කර දෙන,අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින රටක උද්ඝෝෂණ,වැඩවර්ජන  යනු සාමාන්‍ය දේවල් ය.බටහිර රටවල උද්ඝෝෂණ වෙනුවෙන් වෙනම ස්ථාන පවා වෙන් කර තිබේ. ඒ ජනතාවට තමන් ගේ හඬ අවදි කිරිමටය.ශ්‍රී ලංකාවේ මේ තත්වය ඊට හාත්පසින් වෙනස් ය.

ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඕනෑම තැනක මේ උද්ඝෝෂණ, වැඩවර්ජන සිදු කිරීමට අපේ රටේ නම් හැකියාව දී ඇත.එය එක් අතකින් සාධනීය පියවරක් ය.ඒ නිසාම තැන තැන තිබෙන බස් හෝල්ට් වගේ දැන් හැමතැනම උද්ඝෝෂණයන්ය.විටෙක ආණ්ඩුවට එරෙහිවද,තවත් විටෙක රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාට එරෙහිව ද මේ උද්ඝෝෂණ සිදු කරනු ලබයි.මේ උද්ඝෝෂණ ඉතිහාසය ගැන සළකා බලන විට මීට වසර 3කට පෙර උද්ඝෝෂණ කිරීමට ගොස් අත් කකුල් කඩා ගත් හා ජීවිත පවා අහිමි කර ගත් මිනිසුන් ගැන ඉතිහාසය මොනවට සාක්ෂි දරයි.එදා උද්ඝෝෂණයක් හෝ වැඩවර්ජනයක් ළඟින් යාම නිසා ම ජීවිත අහිමි වූ මිනිසුන් සිටියේ ය.ඒ විතරක් නොවේ, ආණ්ඩුවට එරෙහි බලවේගයක් වේ නම් ඔහු පාරට බැසිය යුතු වූයේ මරණ වරෙන්තුව අතේ තබාගෙනය.ඇතැම්විට ඔහු ජීවත් වන දින ගණන තීරණය කළේද රටේ ආණ්ඩුවයි.

ඒ විදියට මේ රටේ උද්ඝෝෂණ ,වැඩවර්ජන සංස්කෘතියක් සකස් වෙද්දී අකුරට වැඩ කිරීම හෝ උද්ඝෝෂණ සිදු කිරීම කියන වචන පවා ඇසෙන තරමට මිනිසුන් බිය වූයේ අත් කකුල් කඩා ගැනීමට ඇති අකමැත්ත නිසා ය.එදා වැඩ වර්ජන කියන දේවල් ගැන ලොකුවට කතාබහ කරන්නට කිසිවෙක් එඩිතර නොවීය.නමුත් ජනවාරි 8 වැනිදා බලයට පත් යහපාලන රජය ගෙන ගිය ප්‍රජාතන්ත්‍රවාදී පියවරයන් රැසක ප්‍රතිඵලයක් ලෙස මේ උද්ඝෝෂණ රැල්ල පැතිරෙන්නේ මිටින් මුදා හළ කුරුල්ලන් ලෙස සිතූ සිතූ ලෙස වැඩ කිරීමට පුරවැසියන් ට නිදහස ලබා දීම නිසාද යන්න සිතා බැලිය යුතුය.මන්ද එතෙක් කිසිවක් නොපෙනී , කට ඇර කතා කිරිමට හෝ කනින් ඇසීමට නොහැකිව අඳ ගොළු බිහිරන් මෙන් සිටි සියලු දෙනා කඩි ගුලක් ඇවිස්සුණා සේ සිය ඉල්ලීම් හා අවශ්‍යතා ඉල්ලා සිටින්නට වීම නිසා ය.

උද්ඝෝෂණ හා වැඩවර්ජන සිදු කිරීමේ අයිතිය යහපාලන රජය කිසිවිටෙක ඇහිරුවේ නැත.නමුත් මේ ලබා දී ඇති අසීමිත නිදහස නිසා අද ඕනෑ දේටත් එපා දේටත් උද්ඝෝෂණ කිරීම විලාසිතාවක් වී ඇත්තේ ය.රටේ සිදු වන හැම දේටම බෝඩ් ලෑලි එල්ලා ගැනීම නිසා විවිධ අංශවලින් දෛනික කටයුතු අඩාල වීම සිදු වීම රජයකට පාලනය කළ නොහැකිය. පසුගිය වසර දෙකක තුළ විවිධ උද්ඝෝෂණ සහ වැඩවර්ජන ක්‍රම ක්‍රමයෙන් වැඩි වන අයුරු හොඳින් විමසා බැලීමේදී පෙනී යන්නකි.

වැඩ වර්ජනවල අදහස රජය හෝ හාම්පුතුන් වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීම ප‍්‍රතික්ෂේප කරන විට ආර්ථික කටයුතු නැවැත්වීමේ අදහසින් වැඩ නතර කිරීමය.

  • ශිෂ්‍ය සංවිධාන විසින් අධ්‍යාපනය පෞද්ගලිකකරණයට එරෙහිව උද්ඝෝෂණ කිරීම.   
  • වතු කම්කරුවන්ට වඩා ඉහළ වැටුප් ලබා ගැනීම.
  • ටෙලිකොම් සේවකයන්ගේ රැකියා ස්ථිර කර ගැනීම. 
  • තැපැල් වර්ජනය. 
  • වෛද්‍යවරුන් අකුරට වැඩ කිරීම. 
  • දුම්රිය සේවක වර්ජනය. 
  • ගුරු වෘත්තීය සමිති වර්ජනය.

ආදිය පසුගිය කාලයේ එවැනි වර්ජනයන් ට උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. මේ වැඩවර්ජන සිදු කිරීමේ අනිටු විපාක පිළිබඳව නොසිතා තමන්ට වසර දහයකින් ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් පළ කිරීමේ නිදහස අවභාවිත කිරීම සාධෘරණීකරණය කළ නොහැකිය.සේවක අයිතීන් දිනා ගැනීම  මේවායේ ඉලක්කය වුවද ආර්ථීක හා සමාජයීය වශයෙන් මෙකී වැඩ වර්ජන නිසා රජයට සිදු වන හානිය අතිමහත් ය. හම්බන්තොට වරාය බදු දීමට එරෙහිව ජනතාව සිදු කළ උද්ඝෝෂණය ද මීට උදාහරණ ලෙස දැක්විය හැකිය.  ඒ උද්ඝෝෂණය හේතුවෙන් වරාය ආශ්‍රිතව සිදු කිරීමට නියමිතව තිබු සංවර්ධන කටයුතු පසුගිය වසර අවසන් වන විට මෙරටට ලැබීමට තිබූ සෘජු විදෙස් ආයෝජන ප්‍රමාද විය.මේ නිසා මෙම ව්‍යාපෘතියේ කටයුතු තවදුරටත් කල් ගියේ ය. අනෙක් කරුණ නම් මේ වැඩ වැරීම් නිසා මහජනතාවගේ කාලය හා මහමඟට වැය වන අමතර වේලාවයි.එදා උද්ඝෝෂණයක් දෙස අභිමානයෙන් බැලූ අය අද උද්ඝෝෂණයක් දකින විට බලන්නේ තවත් හිසරදයක් ලෙසින් ය.උද්ඝෝෂණ නිසා මාර්ග අවහිර වීම් පසුගිය කාලයේ කෙතෙක් සිදුවීද යත් මෙරට සංවර්ධන වැඩපිළිවෙල වෙනුවෙන් පැමිණි ආයෝජකයන් හැරී ගිය අවස්ථා එකක් දෙකක් නොව කිහිපයක් ම වාර්තා වී තිබේ.

නමුත් ඇතැම් විරෝධතා දියත් කිරීමේ ක්‍රියාවලියේ ම යම් දෝෂයන් පවතින අවස්ථා නැතුවා නොවේ.ඒ මන්ද යත් දීර්ඝකාලීනව තමන් ට තිබූ ගැටලු නිහඬව දරා ගත් වෘත්තීය සංගම් එක්වරම යහපාලනයේ අනුහසින් ලද නිදහසේ නාමයෙන් මස් රාත්තලම ඉල්ලන්නට වීමයි.

පසුගියදා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ගුරු සේවයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් කැඳවන ලද වර්ජන වැඩපිළිවෙල පිළිබඳ රටම කතා කළේ ය. මේ වර්ජනයට සම්බන්ධ වූ දහසකට ආසන්න විදුහල්පතිවරු, අධ්‍යාපන පරිපාලන නිලධාරීන් සහ ගුරුවරු බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය. මේ නිසා දිවයිනේ බොහොමයක් පාසල් වල දෛනික කටයුතු අකර්මන්‍ය වේවි යැයි වර්ජකයෝ සිතූ නමුත් එය එසේ නොවීය.

ලංකා ගුරු සංගමය, ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස), ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සහ සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ වෘත්තීය සමිතිය ඇතුලු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති එකතුවක් විසින් මෙය සංවිධාන කරන ලදී. අධ්‍යාපන පරිපාලන සේවයට සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පත්වීම් ලබාදීමේදී “දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට සහන සැලසීමේ මුවාවෙන්” ආණ්ඩුවේ හිතවතුන් බඳවා ගැනීම සිදු කරනවා යන්න එයට එල්ල වූ මූලිකම චෝදනාව විය.

මේ සියලූ වර්ජන සහ විරෝධතා රාජපක්ෂ පාලනයේ අවතාර විසින් වත්මන් ආණ්ඩුව පෙරලීම සදහා සංවිධානය කළ උත්සාහයන් ලෙස පෙනී යයි.ඊට බලපාන හේතු සාධක ලෙස මුලින් ම රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අතිශය අවස්ථාවාදී ලෙස කටයුතු කිරීම පෙන්වා දිය හැකිය.යහපාලන ආණ්ඩුවට එරෙහිව ඔවුන්ගේ විරෝධය අම්බලන්ගොඩ රූකඩවලටත් වඩා සංදර්ශනාත්මකය.මේ උද්ඝෝෂණ පසුපස රාජපක්ෂ කල්ලියේ හොර නඩය සිටින බව පැහැදිලිව පෙනෙන කරුණක් ය.විවිධ ක්ෂේත්‍රයන් හි ගැටලු පිළිබඳව තාර්කික විවාදයක් නොමැතිකම හා විකල්ප කාරණා ඉදිරිපත්  නොවීම නිසා මෙවැනි විරෝධතා හා වැඩ වර්ජන මතු වෙයි. එවැනි ගැටළු රජය සමඟ වන අවස්ථාවලදී තමන් ගේ පෞද්ගලික ගැටළු කෙරෙහි සමාජ අවධානය යොමු කරගැනීමට එවැනි උද්ඝෝෂණ හා විරෝධතා මගින් ඔවුන් උත්සාහ ගනිති.ඇතැම් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් ‍දේශපාලනීකරණය වීම ද තවත් හේතුවකි.ඔවුන් ව හසුරවන යම් යම් බළල් අත් විසින් රහසේම සිය කොස් ඇට ටික අනුන් ලවා බා ගැනීමට යත්න දරන්නේ ය.මේ නිසා සමස්ත යාන්ත්‍රණයම අවුලෙන් අවුලට පත් වීමට එය හේතුවක් වී තිබේ.

අද යහපාලන ආණ්ඩුව රට කරවීමට අසමත් බව පෙන්වීම ඒකාබද්ධ විපක්ෂයේ කාර්යභාරය වී තිබේ.ඔවුන් මේ තුළින් කියන්නට තතනන්නේ දැන් අපිට බලය දීපල්ලා යන්නයි.එය සෘජුව කීමට නොහැකි වන්නේ එවුන් ගේ කිල්ලෝටවල ඇති හුණු ටික නිසාවෙන් ය.ඒ කිල්ලෝටවල ඇති හුණු ගැන රට්ටු දන්නා නිසා ඔවුන් දැන් වෘත්තීය සමිති අල්ලාගෙන විවිධ උද්ඝෝෂණ සඳහා උල්පන්දම් දෙති. 2020 ජනාධිපතිවරණය ට සිය ඊනියා මතය සකස් කරමින් සිටින ඔවුන් රටේ ජනතාව නොමඟ යැවීමට දරන අසාර්ථක උත්සාහය මැඩ පැවැත්විය යුතුය.ඒ වෙනුවෙන් කවුරු කවුරුත් තම තම නැණ පමණින් සියල්ල වටහා ගැනීම යුගයේ අවශ්‍යතාවයක් වී තිබේ.

 

– ප්‍රව්දා සිවකුමාර් –

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 11:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්