පසළොස්වක පොහොය දින හා ඉරිදා දින පෞද්ගලික පංති පැවැත්වීම පිළිබඳ නිසි වැඩපිළිවෙළකට එළඹිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා තවදුරටත් පෙන්වා දුන්නේ දහම් අධ්‍යාපනය ලබා දෙමින් යහපත් අනාගත පරපුරක් නිර්මාණය කර ගැනීම මෙහි අරමුණ බවයි.
පෞද්ගලික උපකාරක පංති හේතුවෙන් පාසල් දරුවන්ගේ දහම් අධ්‍යාපනය අඩපණ වීම වළක්වා ගැනීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුලු මැතිඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියා. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ව්‍යවස්ථාපිත තත්ත්වයන්ට වඩා වැදගත් වන්නේ සදාචාර සම්පන්න සමාජයක් පිළිබඳ සියලු දෙනා අවබෝධයෙන් යුතුව තම වගකීම් ඉටු කිරීම අවශ්‍යතාවක් බවයි. ඉතා දීර්ඝ කාලයක සිට මහා සංඝරත්නය ප්රමුඛ සියලු ආගමික නායකයින්ගෙන් මෙන්ම විද්වතුන්ගෙන් ද මේ පිළිබඳ දැඩි ඉල්ලීමක් පවතිනවා.
ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම සම්බන්ධයෙන් පළාත් සභා මට්ටමින් මේ වන විටත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි. කෙසේ නමුත් දීප ව්‍යාප්ත මට්ටමින් පොදු වැඩසටහනක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉදිරියේදී ප්‍රථමයෙන්ම මේ පිළිබඳ උපකාරක පංති පවත්වන ආචාර්යවරුන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ගෙන් දැඩි ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළා. ඉන් අනතුරුව දහම් අධ්‍යාපනය අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳ ව්‍යවස්ථාපිත තත්ත්වයන් ඇති කිරීමේ හැකියාව සොයා බැලීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා තවදුරටත් පැවසුවා.
දහම් පාසල් ගුරුවරුන් දිරිගැන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා. මෙහිදී මහා සංඝරත්නය පෙන්වා දුන්නේ දශක හතරක, පහක සිට සියලු රාජ්‍ය නායකයින් සමග මේ පිළිබඳ සාකච්ඡා කළ ද මේ සඳහා කිසිවෙකුගේ නිසි මැදිහත්වීමක් සිදු නොවූ බවයි. සදාචාරවත් සමාජයක් අගයන නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම මහා සංඝරත්නයේ ඇගයීමට ද ලක්වුණා.