උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර දුම්රිය ගමනාගමනය යළි ආරම්භ කෙරෙනවා. ඒ වෙනුවෙන් දෙරට සම්බන්ධ කෙරෙන දුම්රිය මාර්ගය නවීකරණය සඳහා සාකච්ඡා ආරම්භකර තිබෙනවා. උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ දුම්රිය මාර්ග, දේශසීමාව හරහා යා කිරීම පිළිබඳ දෙරටේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැන්මුන්ජොම් නගරයේ දී අද (26) පැවැත්වුණා.
යුද්ධය හේතුවෙන් බෙදීගිය උතුරු සහ දකුණු කොරියාව එක් කිරීමේ දැවැන්ත පියවරක් ලෙස මෙය සැලකෙනවා. දකුණු කොරියානුවන් බොහෝ දෙනෙකු උතුරු කොරියාවේ සංචාරයට කැමැත්තෙන් පසුවන බවද එරට වාර්තා සඳහන් කරනවා. දෙරටේ දුම්රිය මාර්ග සම්බන්ධකිරීම පිළිබඳ මීට පෙරද සාකච්ඡා පැවතුන ද ඒවා සාර්ථක වූයේ නැහැ. දකුණු කොරියා ජනාධිපති මුන් ජේ ඉන් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර හමුවක් ඉදිරියේ දී පැවැත්වීමට ද නියමිතයි.