විශාල ණය යෝජනා ක්‍රමයක් ඇති කර නිෂ්පාදන ක්‍රියාවලියක් සහ කර්මාන්ත ක්ෂේත්රයේ පිබිදීමක් ඇති කිරීම තුළින් ජාතික ආර්ථිකයට ප්‍රභල ශක්තියක් ලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පල කළේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින්.
විෂන් 2025 එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා හා ගම්පෙරළිය ව්‍යාපෘතියට අදාළව එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායක පාරාදීස සහන ණය යෝජනා ක්‍රමය එළිදැක්වීම අද (22) පස්වරුවේ සිදුකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වුණා. එහිදී රිය ශක්ති නමින් වන ණය යෝජනා ක්‍රමයේදී අදාළ පොළී මුදලින් සියයට 75 ක් දරනුයේ රජයයි. තවත් සියයට 13 යි දශම 5 ක් බැංකුව දරන අතර ණය වාරික හිමියාට උපරිම රුපියල් ලක්ෂ 40 කට යටත්ව ණය මුදල් ලබා දෙන්නේ සියයට 3 යි දශම තුනයි අටක පොළියටයි. එම ණය මුදලින් පාසල් වෑන් සේවා පවත්වන ව්‍යවසායකයින්ට ආසන තිස්දෙකේ අලුත් බස් රථයක් මිලදී ගැනීමට මෙම ණය මුදල හිමිවනවා. සුළු පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන සඳහා වගා කටයුතු යාන්ත්‍රීකරණයට ලබා දෙන ණය යෝජනා ක්‍රමය ගොවි නවෝදායි. එමගින් රුපියල් ලක්ෂ 5 ක් දක්වා වූ උපරිම ණය මුදලක් ප්රදානය කෙරෙනවා. එම ණය මුදලින් ද සියයට 75 ක ප්‍රතිශතයක් දරන්නේ රජයයි.
රන් අස්වැන්න එක යටතේ සුළු පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන, විසිතුරු මල් වගාකරුවන්, විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලෙන ව්‍යාපාරිකයින් සඳහා රුපියල් ලක්ෂ 50 ක උපරිමයකට යටත්ව සහන ණය ලබා දීමට නියමිතයි. එම ණය මුදලින් සියයට 50 ක ප්‍රතිශතයක් රජය දරන අතර ණය හිමියා ගෙවිය යුතු වන්නේ සියයට 6 යි දශම හතයි පහක පොළී වාරිකයක්. රන් අස්වැන්න දෙක යටතේ රුපියල් මිලියන 300 ක සහන ණයක් ප්රදානය කෙරෙන්නේ කෘෂි හා මත්ස්‍ය සැකසුම් ආයතන සඳහායි. එම ණය මුදලින් ද සියයට 50 ක ප්‍රතිශතයක් රජය දරනවා. රන් අස්වැන්න තුන වෙන්කර ඇත්තේ වාණිජ පරිමාණ ගොවිපෙළ සඳහායි. එහිදී හිමිවන උපරිම ණය මුදල රුපියල් මිලියන 750 ක්. එම ණය මුදලින් ද පොළිය සියයට 50 ක ප්‍රතිශතයක් ගෙවීම සිදු කරන්නේ රජයයි. රුපියල් මිලියන 100 ක ජය ඉසුර එක සහන ණය යෝජනා කර ඇත්තේ සුළු පරිමාණ ව්‍යාපාර ලෙස සැලකෙන කෘෂිකාර්මික, ධීවර, විසිතුරු මත්ස්‍ය වගාව, පාංශු සම්පත්, විසිතුරු මල් වගාව, ගෙවතු වගාව, ලුහුඉංජිනේරු, මුද්‍රණ, සංචාරක, අත්කම්, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ, නිෂ්පාදන කර්මාන්ත හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයන් හි නියැලෙන ව්‍යාපාරිකයින් වෙනුවෙන්. එහිදී ද පොළී මුදලින් සියයට 50 ක ප්‍රතිශතයක් රජයේ පාර්ශ්වයෙන් දරනවා.
ඉසුර දෙක සහන ණය යෝජනා ක්‍රමය මගින් ලබා දෙන උපරිම ණය මුදල රුපියල් මිලියන 400 ක්. එම ණය හිමිවන්නේ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රවලටයි. රජය එවැනි ණය හිමියන්ගෙන් සියයට 25 ක ප්‍රතිශතයක් පොළිය වශයෙන් දරනවා. රිවි බල සවි සහන ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් තුන්ලක්ෂ පනස් දහසක ණය මුදලක් ප්රදානය කරන්නේ නිවාස සඳහා සූර්ය බලශක්ති ඒකක ඇති කිරීමටයි. කුඩා නිවාස හිමියන්ට නිවාස අලුත්වැඩියාවට රුපියල් ලක්ෂ දෙකක් පිරිනමන්නේ සොදුරු පියස සහන ණය යෝජනා ක්‍රමය මගින්.
හරිත ණය එක යෝජනා ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ දහයක උපරිම ණය මුදලක් පිරිනමන්නේ ස්වාභාවිකව වියෝජනය වන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය, සුළු පරිමාණ සංචාරක සේවා,කාබනික පොහොර නිෂ්පාදනය හා ජී පී එස් තාක්ෂණය සහිත මීටර සවිකර ගැනීමට ත්‍රිරෝද රථ හිමියන්ටයි. හරිත ණය දෙක යෝජනාවට අනුව හෝම්ස්ටේ කුඩා සංචාරක නිවාස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 50 ක උපරිම ණය මුදලක් ප්රදානය කෙරෙනු ඇති. මීට අමතරව මාධ්‍ය අරුණ එක ණය යෝජනා ක්‍රමය යටතේ ජනමාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 3 ක උපරිම ණයක් ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම පොළී රහිතවයි. දිරි සවිය සහන ණය යෝජනා ක්‍රමය මගින් සත්ත්ව පාලනය හා ස්වයං රැකියා සඳහා අධි ශීතකරණ මිලට ගැනීමට රුපියල් පනස් දහසක ණය මුදලක් ප්රදානය කෙරෙන අතර එය ද සම්පූර්ණයෙන් පොළියෙන් නිදහස් කර තිබෙනවා.
උපාධිධාරීන්ට ව්‍යාපාර ඇරඹීමට රුපියල් ලක්ෂ 15 ක උපරිම ණයක් ලබා දෙන්නේ ඇරඹුම සහන ණය යෝජනා ක්‍රමය යටතේයි. එය ද සම්පූර්ණයෙන් පොළියෙන් නිදහස් කර තිබෙනවා. මෙම ණය යෝජනා ක්‍රම මගින් රජය අපේක්ෂා කරන්නේ අතීතයේ සිට මෙරට පැවති වෙළෙඳ ශ්‍රී විභූතිය ළඟාකර ගැනීමයි. එමගින් ව්‍යවසායක ශ්‍රී ලංකාවක් බිහි කිරීම නව වැඩපිළිවෙළේ ප්රමුඛ අපේක්ෂාව බවට පත්ව තිබෙනවා.