Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද්ධය ලන්සු තැබීම

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 19:26

යුද්ධය ලන්සු තැබීම

විපක්ෂයේ මහත්වරු වඩාත් දුකට පත් වන්නේ, මේ රටේ ජනතාව වඩ වඩාත් ඉහළ ජීවන තත්ත්වයකට පත්වේ යැයි බිය ඔවුන් වෙලා ගන්නා නිසාය. මන්ද ජනතාව පීඩාවට පත්වන තරමට ඔවුන්ගේ  කෑදර ඉල්ලීම් වලට ඉඩ පෑදෙන නිසාය. විපක්ෂයේ සිට මහා හයියෙන් කෑ මොර දෙන බොහෝ මහත්වරුන්ගේ හෘද සාක්ෂියේ කැමැත්ත ඒකය. මේ ටික කියන්න වුණේ, අද රටේ ජීවත්වන දුක්විඳින මිනිසුන්ගේ ජීවන තත්ත්වය ක්‍රමයෙන් ඉහළ අඩියකට පත් වෙමින් තිබෙන නිසාය, ඒ වෙනුවෙන් යහපාලන ආණ්ඩුව  වැඩ කරමින් සිටිය දී ඒවා නොඉවසන  රාජපක්ෂලා තැන තැන ඉළ ඇදෙන විහිළු සපයමින් සිටින නිසාය. අද දිවයින පත්තරයට මහින්ද එවැනි විහිළුවක්  සපයා තිබේ.  ඒ  ‘යුද්ධය අවසන් කරපු මට,  බදු අඩු කරන එක ප්‍රශ්නයක් නොවේ’  කියාය. මහින්ද මහත්තයාට තමන්ගේ අතීතය අමතක වීම රෝගී තත්වයක්දැයි මේ දිනවල කරන කියන  ප්‍රකාශයන් නිසා සැකයක් ඇති වීම ද වැලැක්විය නොහැක. යුද්ධය අවසන් කළ බවට තුන්සිය හැටපස් දවසේම පුරසාරම් දොඩවන මහින්ද රාජපක්ෂ බලයට පත් වූ පළමු වාරයේදී ඔහුට ඒ සඳහා කිසිදු සැලැස්මක් හෝ වුවමනාවක් නොතිබුණු බව ද අමතක වී ඇත්තේය.

වරක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ පැවසුවේ ‘2006දී   යුද්ධය කරන්න කතා කරද්දි, මහින්ද  අහවල් එකෙන්ද  ගහන්නෙ” කියා ඇසූ බවය. ඒ කියන්නේ යුද්ධ කිරීමක් ගැන කිසිදු අදහසක් නොතිබුණු මහින්දට පැවැති සමාජ දේශපාලන බලපෑම හමුවේ ඒ තැනට තල්ලු බව නොවේ ද?  ඒ කෙසේ වෙතත් අවසානයේ ආරක්ෂක හමුදාව ජිවිත පරිත්‍යාගයෙන් සිදුකල කැපවීම හමුවේ යුද්ධය නිමා විය. යුද්ධය නිමා කිරීමේ ගෞරවය ආරක්ෂක හමුදාවන්ට වගේම දේශපාලන නායකත්වයක් ලබාදුන් මහින්ද රාජපක්ෂට ද නොදෙන්න තරම් අප කුහක නැත්තේය. එහෙත් එකී ගෞරවය ආභරණයක් කරගෙන මහින්දට දේශපාලන තක්කඩිකම් කිරීමට අයිතියක් නැත. අද පරාජිත මහින්ද, ඕන දේටයි එපා දේටයි, නිරන්තරයෙන්ම ‘යුද්ධය ලන්සු තැබීම’ නිර්ලජ්ජිත පුරුද්දක් කරගෙන ඇත්තේය.

මේ රටේ මහජනතාවට මහින්ද රාජපක්ෂ නාමයත් විහිළුවක් බවට පත්වෙමින් ඇත්තේ ඒ නිසාය. රටේ ණයබර ගැනත් බදු අඩු කිරීම ගැනත් තැන් තැන්වල නන්දෙඩවීම නොකර ප්‍රසිද්ධ සාකච්ඡාවකට එන්නැයි මුදල් ඇමැතිවරයා සහ අගමැතිවරයා කළ ඉල්ලිම දැන් මහින්ද මඟ හරිමින් තිබේ. මහින්ද තවමත් යුද්ධය විකුණමින්, රස්තියාදු ගහන්නේ ආර්ථිකය ගැන, ණය ගැන, බදු ගැන තමන්ට අදහසක් නැති නිසා  දැයි අපට සැකයක් ඇත්තේය. තමන්ගේ දූෂිත අපරාධකාරී පාලන කාලය තුළ වැට් බද්ධ ද සියයට විස්සක් කළා මිස කිසිදා බදු අඩු කිරීමක් නොකළ මහින්ද දැන් විපක්ෂයේ සිට කියන කරන දේවල් මේ රටේ මිනිසුන්ට  විහිළු මිස  වෙන යමක් නොවන  බව නැවත නැවත මතක් කළ යුතු දෙයක් නොවේ.

දැනට මේ ඇති සෙස්ස පස්සට

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 19:26
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්