මිහින් ලංකා ගුවන් සේවයේ ප්රථම අධ්යක්ෂ මණ්ඩලය පත්කර ඇත්තේ රජයේ අනුමැතියකින් තොරව බව අනාවරණය වී තිබෙනවා. ශ්රී ලංකන් ගුවන් සේවය,මිහින් ලංකා සහ ශ්රී ලංකා කේටරින් ආයතනවල සිදු වී දූෂණ සහ අක්රමිකතා සෙවීමේ ජනාධිපති කොමිසමේ අද (11) පැවති සාක්ෂි විභාගයේ දීයි මේ බව හෙලි වුණේ.
කොමිසම අද රැස්වුණේ 4 වන දිනයටයි. අද දිනයේ දී අනාවරණය වී ඇත්තේ මිහින් ලංකා ප්රථම අධ්යක්ෂ මණ්ඩලය පත් කිරීමට අදාලව රජය කිසිඳු අනුමැතියක් හෝ බලය පැවරීමක් සිදු කර නොමැති බවයි. කොමිසමේ සාක්ෂි විභාගය සඳහා සමාගමේ රෙජිස්ටාර්වරයා ඇතුලු නිලධාරීන් කිහිප දෙනෙකු අද දිනයේත් කැඳවා තිබුණා. මෙම කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු පසුගිය 4 වනදායින් ආරම්භ වූ අතර එදින සාක්ෂි ලබා දුන් සමාගම් රෙජිස්ටාර් ජනරාල්වරයාගේ නියෝජිතයා සඳහන් කළේ ශ්රී ලංකා කේටරින් සමාගම ශ්රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම වෙත නිකුත් කර තිබූ කොටස් මිලියන 60ක පමණ තොරතුරු දෝෂ සහිත බවයි. එමෙන්ම වැදගත් ලේඛන ප්රධාන ලිපි ගොණුවේ නොමැති බව අනාවරණය වුණා. ඒවා වහාම කොමිසම හමුවට ඉදිරිපත් කළ යුතු බව විනිසුරුවන් ප්රකාශකොට තිබෙනවා. එමෙන්ම පසුගිය 7 වනදා පැවති සාක්ෂි විමසීමේ දී හෙළි වුණේ මිහින් ලංකා ප්රයිවට් ලිමිටඩ් ආයතනය නීතිගත සමාගමක් බවට පත් කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ දෝෂ සහිත ආකෘති පත්රය ලැබී දින 4ක් ඇතුලත දී එවකට සිටි සමාගම් රෙජිස්ටාර්වරයා එය නීතිගත කර ඇති බවයි. කොමිසමේ සාක්ෂි විමසීම ලබන 13 වනදාට කල් තැබුණා.