උත්තරීතර මානව හැගීම් හා සම්බන්ධ සාහිත්‍ය විෂය මාලාවෙන් ටික කලකට හෝ ඈත්වීම සැහැසි ක්‍රියාවක් ලෙස පෙනේ. එසේ කියන්නේ මුළු මහත් ජීවිතයම, නිකැළැල් ජන සමාජයම සාහිත්‍ය හා බැදී පවතින නිසාය.පෙර මෙන් අද සාහිත්‍ය ක්‍රියා රාජ්‍ය සභාවට හෝ පණ්ඩිත සභාවට හරියන්නේ නැත. ජීවිත සංග්‍රාමය උදෙසා සාහිත්‍ය තුළින් සිදු විය යුතු විශාල සේවාවක් තිබේ. එය වෙන කිසිවෙකුටත් සිදුකළ නොහැකිය. එම නිසා එවැනි සාහිත්‍ය පරිශීලනය නොකිරීමෙන් තරුණ පිරිස නොයෙක් අසහනකාරී තත්ත්වයට පත්ව සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන බව පැහැදිලි කරුණකි.
සාහිත්‍ය පොත පත ලිවීම, කියවීම නිසා තමා අවට ලෝකය අවබෝධ කොට ගැනීමත් ඉන් ද්වනිත වන මිනිස් හැගීම් ඇසුරින් තමා සමග වෙසෙන්නන් පමණක් නොව තමාට තමා අවබෝධ කර ගැනීමට ද හැකි වේ. අතීතයේ සිටම බිහිවූ සාහිත්‍ය කෘති මෙම විශේෂ මෙහෙය ඉටු කොට ඇත.රචකයා, පාඨකයා හා විචාරකයා යන තුන් කොටස එක්වීමෙන් මතුවන සාහිත්‍ය පිළිබද ලෝකය තුළ නන් වැදෑරුම් මති මතාන්තර වරින් වර විවිධ ආකාරයෙන් මතුවී ඇත.සාහිත්‍යයේ අරමුණ රසිකයා කල්පනා ලොවෙකට ගෙනයාම යැයි සමහරුන් දරණ මතය ද එවැන්නකි.එම මතය තුළින් තරුණ පිරිස යහමගට ගෙන යන බව පෙනේ. එනම් කිසියම් දෙයක් කල්පනා කෙට ඒ තුළින් විසදුමක් ලබාගැනීමයි. සාහිත්‍යයෙන් ඈත් වූ ඕනෑම සමාජයක් විවිධ අර්බුදවලට මුහුණපාන බව අවිවාදයෙන් පිළිගත හැකි සත්‍යකි .ලේඛකයකු විසින් සාහිත්‍ය කෘතියක් නිර්මාණය කරනු ලබන්නේ හුදෙක් රස නිෂ්පත්තිය අපේක්ෂාවෙන් ද යන්න කලක් මතබේදයට තුඩු දුන් කරුණකි. එහෙත් අධ්‍යාපන, නවකතා, කාව්‍ය, නාට්‍ය ආදිය ජීවිත විවරණය හා සමාජ විවරණය උදෙසා බව පැහැදිළිය. සමාජය හරිහැටි අවබෝධ කර ගන්නෙකු වෙතින් සමාජ ද්‍රෝහී ක්‍රියා සිදුනොවනු ඇත. සාහිත්‍ය වූ කලි සන්නිවේදන මාධ්‍යක් බවත්, විවිධ සන්නිවේදන මාධ්‍ය අතර ප්‍රබලම මාධ්‍ය ලෙසත් නම් නම් කළ හැකිය.
විශිෂ්ටම උරුමයක් ඇති ජනතාවට එහි උරුමය පිළිබදව යථා තත්ත්වය තේරුම් යන්නේත් දේශභක්තිය, ජතිවාත්සවය, සාමය, සහෝදරත්වය, වගකීම් හා අපට අහිමි වී ඇති උතුම් සාරදර්ම සාහිත්‍ය හැදෑරීමෙන් නැවත ලබාගත හැකිය. ඉන් ඈත්ව සිටීම හෝ නොසලකා හැරීම නිසා අනර්ථකාරී ප්‍රතිඵල ලැබෙන බව සක්සුදක් සේ පැහැදිලිය.
ශ්‍රී ලාංකිකයන් පිළිබදව විදේශිකයන් කතාකරන හැම අවස්ථාවකම ඔවුන් අපගේ පරිත්‍යාගශීලි ගුණය ගැන මහා ඉහළින් වර්ණනා කරයි. වෙනත් කිසිදු රටක නොමැති තරම් මේ උදාර ගුණය අපට ලැබුණේ කෙසේද යන්න ඉතා පැහැදිලිය. එනම් පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මරත්නාකරය, පන්සීය පනස් ජාතක පොත පරිශීලනය කිරීම හේතු කොට ගෙන එවැනි උතුම් ගුණාංග අපට උරුම විය. මෙහිදී සාහිත්‍ය හා සමාජය අතර ඇති ලබැදියාව මැනවින් හෙළි වේ. සමාජ ශික්ෂණයට සාහිත්‍ය නිසා ඇති වූ සේවය කවදත් එකසේ ඉටුවිය. තවද සිංහල ජනතාව ගුණගරුක විචාරශීලී සාමකාමී ජාතියක් ලෙස බිහිකිරීමට එදා පැවති සාහිත්‍යට හැකි විය. එසේ නම් අප ඉන් වෙන් වුව හොත් සිදුවන හානිය ඉතාමත් පැහැදිලිය.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/2014918-1624477-990-library-books.jpg”]
බුද්ධියට මෙන්ම හදවතට ළං වී මිනිස්කම උගන්වන මානව විෂයක් ලෙස සාහිත්‍ය නම් කළ හැකිය. ගොරෝසු සිතැගි නැති කොට හදවත් පවිත්‍ර කළ හැකි සාහිත්‍ය විෂය තුළින් සිසුවාට පමණක් නොව රසිකයාට ද සමබර මනසක් ලැබේ .මේ නිසා සම්භාව්‍ය සාහිත්‍ය කෘති හුදෙක් රස භාව පිනවීමට පමණක් නොවන බව තේරුම් ගත යුතුය. මිනිස් ජිවිතයේ විවිද ගැටලු හා ගාම්භීරත්වය පිළිබදව ද සාහිත්‍යයේ ඉගැන්වේ. ගුත්තිල කාව්‍ය, සසදාවත, මුවදෙව්දාවත ග්රන්ථ තුළින් කලාත්මක වින්දනයට අමතරව ජිවිතයට නිවැරදිව මුහුණ දිය යුතු ආකාරය ද ඉගැන්වේ. එම කෘතිවල එන නොයෙක් ආදර්ශ වැඩිහිටියන්ගේ මුවග තවමත් රැව් පිළිරැව් දෙන්නේ එහි ඇති වටිනාකම නිසාය. ඉදිරි පරපුර ද මෙම මහගු දායාදය කිරීමෙන් ඔවුන් සුමගට ගත හැකි බව පැහැදිළිය.
මිනිස් සිත පිබිදෙන්නේ සෞන්දර්ය තුළිනි. මුදු හැගීම්, මිහිරි හැගීම් පහළ වන්නේ එමගින් ය.ඒවා පහළ වීමට ආධාරකය වන්නේ සාහිත්‍යයි.සෞන්දර්ය වස්තු ලොව කොතෙක් පැවතිය ද ඒ හැම දෙයකටම වඩා සෞන්දර්ය පවතින්නේ මිනිස් සන්තානයේ ය. ඒවා කරුණා, දයා, ත්‍යාග, භක්ති හා ශාන්ත සුන්දර ගති පැවතුම්ය. සුන්දර වස්තු මැනවින් වටහා ගන්නේ ද මහා කිවියෝ ය. කාලිදාස ශේක්ෂ්පියර්, තාගෝර් ඉන් සමහරකි. අප සිංහල සාහිත්‍යධරයන් වන පරකුම්බා කව්සිළුමිනෙන් ද, ගුරුළුගොමීන් අමවතුරෙන්ද, විද්‍යා චක්‍රවර්තීන් බුත්සරණින්ද, ශ්‍රී රාහුල හිමියන් කව්යශේඛරයෙන් ද ,වීදාගම මහා තෙරණුවෝ බුදුගුණ අලංකාරයෙන් ද ඉහත කී සෞන්දර්යාත්මක බව මානව හදවත තුළට රිංගවීමට සමත් විය. මේ අනුව යහපත් ගුණධර්ම ප්‍රචාරය කළ හැකි සාර්ථකම ක්‍රමය සාහිත්‍ය බව පිළිගත හැකිය.
පැරණි සම්භාව්‍ය කෘති පමණක් නොව මෑත කාලයේ පහල වූ කෙටිකථා, නවකතා, නාට්‍ය හා කවි තරුණ පිරිස යහමගට ගෙනයාමට මහෝපකාරී වේ. මානව ජීවනය විදහා පෑමට ඇති ප්‍රධානම මාධ්‍යයකි නවකතාව. තවද සමාජ විෂමතා මුල් කොට ගෙන පද්‍ය නිර්මාණයේ යෙදී ඇති මොනිකා රුවන්පතිරණ, පරාක්‍රම කොඩිතුවක්කු වැනි නිර්මාපකයන් නිසා ඉටුවන සේවය අමතක කළ නොහැකිය.
තවද විද්‍යාව හා තාක්ෂණය මත ඉදිරියට යන්නන් ලෝකයේ භෞතික වශයෙන් පමණක් දියුණුව අපේක්ෂා කරයි. එහෙත් අධ්‍යාත්මික වශයෙන් එය හානිකරය. මෙම විද්‍යාව පදනම් වූ භෞතිකවාදය ආගම්වලට පවා අභියෝගයක් වී ඇත. මේ නිසා ක්‍රමයෙන් සදාචාර ගුණ ධර්ම, මනුෂ්‍ය ධර්මතා, මානව භක්තිය, සාරධර්ම මිනිසා තුළින් ඈත වී උනුන් පරයා නැගීසිටීමේ ආශාව හා තරගකාරී බව විනාශකාරී ලෙස සමාජයට පිවිස ඇත. ඉතිහාසය අමතක කර ඔවුන් හෙට ගැන පමණක් සිතන්නෝය. මේ නිසා සමාජය විෂම සිතුවිලි ක්රියාදාමවලින් යුක්තය. ළමා සිතෙන් සහජ හැකියා, සෞන්දර්ය වැනි භූමිකා ඉවත්වීම නිසා පසු කලෙක තරුණයන් වන ඔවුන් විසින් සමාජයේ නොයෙක් අර්බුද ඇති කරනු ලබයි.එම නිසා සාහිත්‍යයේ ප්‍රධාන අරමුණ විය යුත්තේ තරුණ පිරිසගේ මනස සංවර්ධනය කිරීම යි.
-ශානිකා රත්නායක