මීට අවුරුදු කිහිපයකට පෙර රූපවාහිනී නාලිකාවක එක්තරා වෙළද දැන්වීමක මෝහිනී නම් යක්ෂණිය තරුණයකු අමතා මෙසේ හඬ අවදි කළාය.
අයියේ මේ දරුවා පොඩ්ඩක් වඩා ගන්නකො….
තරුණයා එය ප්‍රතික්ෂේප කරමින් ඔහු අසවල් පුවත්පතේ පාඨකයකු බව පවසයි.
අපේ ජනශ්රැතියේ එන මොහිනී කතාව නම්, ඇය දරුවෙකු වඩාගෙන ඒ දරුවා භාරදීමට කෙනෙකු සොයයි. නමුදු මේ වනතුරු ඒ දරුවා වඩා ගත් කෙනෙකු නොමැත. ඇයට දරුවකු අහසින් වැඩියාද? නැත. ඒ දරුවා ඇය තුරුලට අවේ අද ඇඅයව ප්‍රතික්ෂේප කරන පිරිමින් නිසාම නොවේද?මේ කරුණු කාරණා ගැන මගේ සිත විමසන්නට වූයේ රජී වසන්ත වෙල්ගම මහතා ලියු මෝහිනී නම් ගීතය නිසාය. එය ආරම්භ වන්නේ මෙසේයි.
දොළ හඬනා තුන්මං හන්දියේ
කවුරු එනතුරු මග බලනවද
මෝහිනී මගේ නංගියේ …
රජී අපෙන් ප්‍රශ්න කරනුයේ සුරංගනාවන් වැනි ළදුන් දරුවන් බිහිකර කුණුගොඩවල දමායන රටක, මෝහිනී යකින්නක් වුවද දරුවා තුරුළු කරගෙන සිටින බවයි. යකින්න කවුද? සුරංගනාව කවුද? යන්න මෙහිදි අපට පිළිතුරු දිය නොහැකි උභතෝකෝටික ප්රශ්නයකි. මගේ සිතට එවැනිම ගීතයක් සිහිපත් වේ.
දසමසක් මා කුසතුළ හුන් පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතුවේ
වීසි කරමි කටු ළැහැබට දෑස පියාගෙන
නයි පොළොගුන්ගෙන් මවක ලබා
වග වලසුන්ගෙන් පියකු ලබා….
සැබවින්ම මේ මව මා කලින් සඳහන් කළ යක්ෂ සුරංගනාවක් නොවන්නේද ? සිය දරිද්‍රතාව හමුවේ උත්ප්රාසවත් දරු සෙනහසක් මින් ගම්‍යමාන වනු ඇත. අප සිතිය යුත්තේ අම්මා කෙනකු දරුවකු වීසි කිරීම පිළිබදව නොව, සැබවින්ම මවු සෙනෙහසක් නොලද දරුවන්ට අත්වන ඉරණම කුමක්ද? ඔවුන් නැවත සමාජයට පිවිසෙන්නේ ගැටකපන්නන්, කොල්ලකරුවන් වැනි දුෂකයන් ලෙසය. ඊට වගකිව යුත්තේ ඒ අම්මාද? ඒ දරුවාද නොව,
ඇති වී නයි පොළගුන් දරණේ
පොළෙගකු වී අවුදින්
අහක දමන්නට දරුවන් හදනා
ලෝකය කා වනසන් පුතුනේ…
මේ යථෝක්ත මාතෘත්වය පිළිබදව සියලු කරුණු හමුවේ මොහිනියට සමාජයේ කෙබදු අස්ථානයක්ද හිමිවිය යුතු දැයි සිතීමට කාලය එළඹ ඇත. ඇය ඔබගේ මව විය හැකිය. සහෝදරිය හෝ බිරිඳ විය හැකිය. එනම් අප සිතිය යුත්තේ ගැහැණිය පිළිබදව පවතින සමහර ඛේදවාචක ගැන නොව, අප මුහුණ ප සිටින සමස්ත ඛේදවාචකවලට මුලික වී තිබෙන මනුෂ්‍යත්වය හදුනාගැනීමටවත් නොහැකි අච්ච්චාරු සංස්කෘතියක අප අතරමං වී සිටීම පිළිබඳව නොවේද?
– ශානිකා රත්නායක