මුදලට තරඟ පාවාදීම් වැළැක්වීම වෙනුවෙන් 2014 වසරේදී සකස් කළ පනත් කෙටුම්පත ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අතුරුදන්වී ඇතැයි චෝදනා එල්ල වෙනවා. මුදලට තරඟ පාවාදීම වැළැක්වීම සදහා පනත් කෙටුම්පත සකස් කිරීමට එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත්කළා. ඒ ,2013 වසරේදී. එම කමිටුව සකස් කළ වාර්තාව 2014 වසරේ අග භාගයේදී ක්‍රීඩා අමාත්‍යාංශයට භාරදුන් බව කමිටු ලේකම් නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා ITN ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. එම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පසුවයි.
කෙසේ වෙතත් මෙතෙක් ක්‍රීඩා අමාත්‍යාංශයට භාරදුන් පනත් කෙටුම්පත ඉදිරි කටයුතු සඳහා යොමු කර නැති බව ද කමිටුවේ ලේකම්වරයා ප්‍රකාශ කරනවා. මේ හේතුවෙන් බුකීකරුවන්ට හා මුදලට ක්‍රීඩා තරග පාවාදීම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඒ නීතියක් නොවීම හේතුවෙන්. මේ අනුව අල්ජසීරා නාලිකාව පසුගියදා විකාශය කළ ක්‍රිකට් තරග මුදලට පාවාදීමේ සිදුවීම සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමේ හැකියාවක් නැති බවද සඳහන්. තරග තහනම් පැනවීමේ සහ සේවයෙන් ඉවත් කිරීම වැනි දඬුවම් පමණක් ලබාදිය හැකි බවයි නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා ප්‍රකාශ කරන්නේ. මෙම තත්ත්වය පිළිබඳ විමසීමට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා වන කමල් පද්මසිරි මහතා සම්බන්ධකර ගැනීමට අප කිහිපවිටක් උත්සාහ කළා. එහෙත් ඊට පිළිතුරු ලබාදිය නොහැකි බවයි ඔහු ක්‍රීඩා අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයට දැනුම්දී ඇත්තේ.