ළමා ඉතුරුම් ගිණුම්වල වාර්ෂික පොලී ආදායම මත රඳවා ගැනීමේ බද්දක් ලබා ගැනීමට රජය ක්‍රියාකර ඇති බවට ඇතැම් කණ්ඩායම් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙනවා. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ වාර්ෂික රුපියල් පන්දහසක පොලී ආදායමට අනුව 5%ක බද්දක් රඳවා ගැනීම 2006 වසරේ සිට ක්‍රියාත්මක වූවක් බවයි. මේ වන විට එම රඳවා ගැනීම නව බදු සංශෝධනයෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
අමාත්‍ය මංගල සමරවීර මහතා නව බදු පනත යටතේ ළමා ගිණුම් සඳහා ඇතුලත්ව තිබූ 5%ක් රඳවා ගැනීම සහ ලේඛකයින් වෙත පැනවීමට යෝජිත 14%ක කර්තෘ භාග බද්ද ඉවත් කිරීමේ සංශෝධනය කැබිනට් මණ්ඩලයට පසුගිය සතියේ ඉදිරිපත් කළා. ඒ අනුව එම යෝජනා සාකච්ඡාවට ගැනීමෙන් අනතුරුව එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඊට අනුමැතිය ලබා දීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ මෙම සංශෝධන අනතුරුව පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි. ළමා ඉතුරුම් ගිණුම් සඳහා රඳවා තබා ගැනීමේ බද්ද ක්‍රියාත්මක වූයේ පැරණි බදු පනතට අනුව 2006 වසරේ සිටයි. 2015 වසරට පෙර බලයේ සිටි රජය ලබා ගත් අති විශාල ණය ප්‍රමාණයන් ගෙවීමට රජයට සිදුව තිබෙනවා. ඒ සඳහා ආදායම් ඉහළ නංවා ගැනීම අවශ්‍ය වුවද සාමාන්‍ය ජනතාවට කිසිදු පීඩාවක් ඇති නොවන පරිදි එම කටයුතු සිදු කෙරෙන බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙනවා.